බිඳුනු සිත් සුවපත් කරවන මානුෂීය මෙහෙයුමක්

277

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මුළු මහත් ලෝකයම උඩුයටිකුරු කරමින් කොරෝනා වෛරසය තවත් දරුණු ලෙසින් පැතිර යමින් පවතී. එදිනෙදා කාර්යයන් හුරුපුරුදු ලෙස සිදු කරගත නොහැකිව මිනිසුන් තවමත් බලා සිටියි. කොවිඞ් නිසා අධ්‍යාපනය, ආර්ථිකය, ආගමික, සමාජ, දේශපාලන ආදී සියලූම අංශ අඩපණ විය. එපමණක් නොව කොයි මොහොතේ තමාගේ ජීවිතය අහිමි වේද, තම සමීපතමයන් අතහැර යන්නට සිදුවේද යන අවිනිශ්චිත බිය අඩු වැඩි වශයෙන් කොයිකාගෙත් සිත් තුළ හොල්මන් කරන්නට පටන් ගත්තේ වසංගතය ආරම්භයත් සමඟ ය.

කොරෝනා වැලඳුණු රෝගීන්ට පමණක් නොව අනෙකුත් ජනතාවටද ඇතිව තිබෙන දැඩි මානසික පීඩනය නිසා විශාදය සහ වෙනත් මානසික රෝග වැලඳීමේ අවදානමක් තිබෙන බව මනෝ වෛද්‍ය විශේෂඥ කථිකාචාර්ය නීල් ප‍්‍රනාන්දු මහතා පවසයි. ඒවා වළක්වා ගැනීමට නම් පෝෂ්‍යදායී ගුණාත්මක ආහාර, ඖෂධ ප‍්‍රතිකාර මෙන්ම මානසික තෘප්තිය ද අත්‍යවශ්‍යම බව ඒ මහතා පෙන්වා දෙයි.

දෛනික කොවිඞ් මරණ අනුපාතය දෙසීයද ඉක්මවමින් රෝහල් ධාරිතාවය උපරිමය දක්වා ගොස් ඇති මොහොතක කොවිඞ් මර්දන වැඩසටහන් සමඟ සෞඛ්‍ය අංශ නිලධාරීන් ඉටු කරන්නේ වචනවලින් විස්තර කළ නොහැකි තරමේ කාර්යභාරයකි. ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සියලූම පාර්ශවයන් මේ මොහොතේත් නොනවත්වාම ඔවුන්ගේ සේවය සපයමින් සිටියි.

ප‍්‍රතිකාර ලබන පිරිස් රෝහල තුළට වී ගත කරන්නේ ජීවිතය අපහසුම කාලසීමාවකි. කිසි ලෙසකින් තමාට වැලඳේයැයි නොසිතුණ වෛරසයක් නිසා ගත මෙන්ම සිතද අඩපණව සිටින ඔවුන්ට ඇති මානසික පීඩනය වචනයෙන් විස්තර කළ යුතු නැත. එමෙන්ම සංචරණ සීමා නිසා හා නිරෝධායනය නිසා එකම ස්ථානයකම කොටුවී ඇතැම් පිරිස් ගත කරන්නේද එවැනිම දුෂ්කර කාලසීමාවකි. එවැනි පිරිස් සඳහා මූලික ප‍්‍රතිකාර ආහාරපානවලට අමතරව මේ මොහොතේ මානසික නිදහස ද අත්‍යවශ්‍යම අංගයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ඒ සඳහා නිතර සතුටින් සිටින ලෙසත් කායික මානසික නිරෝගීතාවය උදෙසා ව්‍යායාම හා හුරුපුරුදු විනෝදාංශවල නිරත වන ලෙසත් වෛද්‍යවරුන් ජනතාවට දැනුම් දෙයි.

බිඳුනු සිත් සුවපත් කරවන මානුෂීය මෙහෙයුමක්

මෙම කාරණා සැලකිල්ලට ගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පීඩා විඳින මහජනතාව වෙත මානසික සුවය ලබා දීමේ අරමුණ ඇතිව යෞවන කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් දමිත වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ තාරුණ්‍යය සමඟ ජීවිතය විඳින්න නර්තන, සංගීත හා ප‍්‍රහසනාත්මක අංග ඇතුළත් සංස්කෘතික ප‍්‍රසංගයක් බස්නාහිර පළාත තුළ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාතේ තට්ටු නිවාස සහ එන්නත්කරණ මධ්‍යස්ථාන ආශ‍්‍රිතව මහජනතාවගේ මානසික සුවසහනය උදෙසා සෞන්දර්යාත්මක සටහනක් ලෙස ආරම්භ කෙරුණු මෙම වැඩ සටහනේ පළමු අදියර පසුගිය 12 වැනිදා නාරාහේන්පිට ඇන්ඩර්සන් නිවාස සංකීර්ණය ආශ‍්‍රිතව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

එම වැඩසටහන සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී ශ්‍යාමලී රත්නායක මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

‘‘කොවිඞ් නිසා පීඩා විඳින ජනතාව වගේම ප‍්‍රතිකාර කරන සුවවිරුවන් ඇතුළු බොහෝ දෙනෙක් පීඩනයෙන් ඉන්න වෙලාවක ඒ තත්ත්වය යම්තාක් දුරට හරි මඟහරින්න, මානසික සැනසීම ලබාදෙන්න ජාතික තරුණ සේවා සභාව ගෙනයන තාරුණ්‍යය සමඟ ජීවිතය විඳින්න වැඩසටහන මේ වන විට බස්නාහිර පළාත තුළ සාර්ථකව ක‍්‍රියාත්මක වනවා. විශේෂයෙන්ම සංස්කෘතිකාංග, ගායන වාදන නර්තන කියන හැම අංගයක්ම මේ වැඩසටහනට ඇතුළත් වෙනවා. ඉංග‍්‍රීසි, දෙමළ, සිංහල භාෂා ත‍්‍රිත්වයෙන්ම වැඩසටහන් ඉදිරිපත් වෙනවා. ඒ නිසා කිසිදු භේදයකින් තොරව හැමදෙනාටම රසවිඳිය හැකි සංස්කෘතික වැඩසටහනක් ලෙස වැඩසටහන හඳුන්වා දෙන්න පුළුවන්. මේ සඳහා බොහෝ දෙනෙක් හොඳ ප‍්‍රතිචාර දැක්වූවා වගේම උද්‍යෝගයෙන් ඔවුන් අපට සහයෝගය දැක්වූවා.”

පවත්නා වසංගතයත් සමඟ බැහැරට ගොස් විනෝද වීමට ඇති අවස්ථාව ද ඇහිරී ඇති මොහොතක, රෝගවලට ප‍්‍රතිකාර ලබමින් ප‍්‍රතිකාර කරමින් කාර්යබහුල වන මනසට වින්දනයක් එකතු කරන්නට නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සහ තරුණ තරුණියන් විසින් ගෙන යනු ලබන මෙවැනි වැඩසටහන් අගය කළ යුත්තේ කායික නිරෝගීතාවය මෙන්ම මානසික නිරෝගීතාවය ද පුද්ගලයකුට අත්‍යවශ්‍යම කාරණයක් වන නිසාය.

නිරෝෂා වාසල
ඡායාරූප – සංජීව සමරරත්න

advertistmentadvertistment
advertistmentadvertistment