මොන හේතුවක් නිසාවත් මැතිවරණ කල් දාන්න අපි ඉඩ තබන්නේ නෑ

54

සජබ දොම්පෙ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

අද මේ රට ඇද දමා ඇති ආර්ථික අර්බුදය ඇතුළු ප්‍රශ්නවලින් රට ගොඩගෙන ජනතාව මුදා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ඉතා කඩිනමින් මැතිවරණයකට යෑමයි, ඒ සඳහා කාලය එළඹිලා තියෙනවා. ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්විය යුතු මැතිවරණයට අපි දැන් සූදානම්. අපි ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම බොහෝ දුරට අවසන් කර තිබෙනවා. ඒ නිසා මොන නීති, තර්ක ගෙනාවත් මොනම හේතුවකින්වත් ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩ දෙන්නේ නැතැයිද, ඊට බාධාවක් ආවද අපි ලක්ෂ ගණනක් ජනතාව මහ මඟට ගෙන්වා සටන් කරන බවද, එහි නායකත්වය තමා භාර ගන්නා බවද සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

සමගි ජන බලවේගයේ දොම්පෙ ආසනයේ බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා එසේ කීය.

මෙම අවස්ථාවට වැඩම කල මණ්ඩාවල පරිවේනාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ සිංහල සංවිධානයේ සභාපති පූජ්‍ය ඉඳුරුවත්තේ සුමංගල හිමියන් විසින් පිරිස පංචසීලයෙහි පිහිටවන ලදී. අනතුරුව උන්වහන්සේ විසින් අනුශාසනාවක්ද කරන ලදී.

මෙම බල මණ්ඩල රැස්වීම සමගි ජන බලවේගයේ දොම්පෙ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් සංවිධානය කරන ලදී.

මෙහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා

බොහෝ අවස්ථාවලදී විරුද්ධ පක්ෂයේ නායකයාට කුමක්ද කළ හැක්කේ යන මතය ජනතාව තුළ තිබෙනවා. එහෙත් මට වැඩ කරන්න බැරි නැහැ. ඒනිසා තමයි මේ වන විට රට පුරා පාසල් ගණනාවකට බස් රථ ලබා දීම සිදු කරනු ලැබුවේ. රෝහල්වලට ඖෂධ ලබාදීම සිදු කළා.

රට විනාශ කළ රාජ්‍ය මුදල් දේපල ගසා කෑ රාජපක්ෂ පරපුර ඇතුළු සැමට අප පක්ෂයේ ජයග්‍රහණයෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට සුදුසුම පුද්ගලයා දැනටමත් තෝරාගෙන තියෙනවා. ඒ හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆෙන්සේකා මහතා. ඒ මහතා දැනටමත් වැඩ ආරම්භ කරලා.

ජනාධිපතිතුමා පොඩ්ඩක් සැර වේගෙන එනවා. අපි එතුමා ගැන දන්නවා. මේ රටේ පොදු ජනතාව ක්‍රියාත්මක කරපු සාමකාමී අරගලයට ප්‍රචණ්ඩත්වය ගෙනාවේ මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයෝ ගෝඨා ගෝ ගමටයි, මහින්ද ගෝ ගමටයි ගහන්න ආපු වෙලාවේ තමයි මේක කළේ.

සමගි ජන බලවේගයේ දොම්පෙ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කතා කරමින්, සමගි ජන බලවේගය පක්ෂය ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 54 දෙනෙකු පත්කර ගැනීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට මොකද වුණේ. අපි දැන් මැතිවරණයට සියල්ල සූදානම්.

මෙම උත්සව අවස්ථාවේදී පාර්මේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, එස්.එම්.මරික්කාර්, ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරු ඇතුළු දොම්පෙ ප්‍රාදේශීය සභාවේ විරුද්ධ පක්ෂයේ නායක උභය කුමාර ජයවර්ධන මහතා යන මහත්වරුද කතා කළහ.
කිරිදිවැල සෝමපාල තැලිගම සහ රදාවාන- එස්. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment