වෙඩි තැබූ පාතාලයන් අල්ලන්නත් මෙහෙයුම් – මට්ටක්කුලිය අලිවත්තට පැන තග දැමූ රැලට දැල එලයි

316

මට්ටක්කුලිය අලිවත්තේ තරුණයකු පසුපස පන්න පන්නා වෙඩි තබා ඝාතනය කිරීමට පාතාල මැරයන් දෙදෙනකු ගත් උත්සාහයෙන් පසු අලිවත්තේ නිවාස රැසකට පහරදී විනාශ කර යකානැටූ සංවිධානාත්මක පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

සී. සී. ටී. වී. කැමරා දර්ශන උපයෝගි කරගෙන මෙම පිරිස අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර තරුණයාට වෙඩි තැබූ පාතාල මැරයන් සොයා පොලිසිය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මට්ටක්කුලිය අලිවත්තට පෙරේදා (12 දා) රාත්‍රි කඩාවැදුණු පාතාල මැරයන් දෙදෙනකු අලිවත්තේ විරාජ් නමැති තරුණයාට පන්න පන්නා වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

එම සිද්ධියෙන් පසු කෝපයට පත්වූ අලිවත්තේ පදිංචිකරුවන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන ඩුඩායි හි පදිංචි ප්‍රදීප් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ඥාතීන්ට අයත් නිවාස 4 කට පහරදී හානි කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් අනූනවයෙන් දිවි ගලවාගත් අලිවත්තේ විරාජ් නමැත්තා පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම ප්‍රහාරය සඳහා ඔත්තු බැලූ බවට සැක කරන 19 හැවිරිදි තරුණයකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයට පෙරේදා රාත්‍රි යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු අලිවත්තේ විරාජ් නමැත්තාට පන්න පන්නා වෙඩි තබා ඇත. විරාජ් නමැත්තා දිවගොස් සිය නිවසේ සැඟවී දිවි ගලවාගෙන තිබේ.

මෙම සිද්ධියෙන් පසු කෝපයට පත්වූ විරාජ් නමැත්තාගේ හිතවත් පනහකට ආසන්න සංවිධානාත්මක පිරිසක් පොලු මුගුරු රැගෙන ගොස් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන, ප්‍රදීප් නැමැත්තාගේ ඥාතීන්ට අයත් නිවාසවලට ඉවක් බවක් නොමැතිව පහරදී ඇත.

පසුව මට්ටක්කුලිය පොලිසිය පැමිණ අලිවත්තේ ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.

මෙම නිවාසවලට පහරදී විනාශ කළ පුද්ගලයන් සොයා පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment