කුඩු ජාවාරමාගේ නිවාස 2 හා පාපැදි 328 ක් රාජසන්තක කරන්න යයි

481

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 15 ක පමණ වටිනාකමින් යුත් මුදලකින් මිලදී ගත් බවට සැක කරන කඩවත ඉහළ කරගහමුණ සහ හැඳල වත්තල තිඹිරිගස්යාය පටුමගේ පිහිටි සුපිරි නිවාස දෙකක් සහ පාපැදි 328ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් රජයට පවරා ගැනීම සඳහා ඊයේ (13 දා) ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකර විමර්ශන ආරම්භ කර ඇත.

මෙම නිවාස දෙකම පිහිනුම් තටාක ඇතුළු සුඛෝපභෝගීව නිම කරන ලද නිවාස වේ. මෙහි කඩවත නිවස ජාවාරම්කරුගේ තෙවැනි බිරිඳට අයත්ව තිබූ එකක් වන අතර එය අලෙවි කිරීම නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ද ලබාගත් බව පොලිස් අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා කීය.

හැඳල වත්තල නිවස තුළ එහි කාමරවල ගබඩා කර තිබූ ආනයනික පාපැදි තොගයක් ද පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ද ඔහු කීය.

මෙම දේපළවලට කිසිදු අයකුට ඇතුළුවීම තහනම් කරමින් දැන්වීම් පුවරුවක් සවි කෙරිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාසය විසින් කිරිබත්ගොඩ නගරයේදී පසුගිය තුන්වැනිදා පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබී අයිස් කිලෝ පහක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි. වැඩිදුරටත් කළ පරීක්‍ෂණ වලින් පසු තවත් යුවළක් එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන එම යුවළ සන්තකයේ තිබී තවත් අයිස් කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුවන්ට මෙම අයිස් ලබාදෙන මත්ද්‍රව්‍ය ජාලයේ මහමොළකරු ඉන්දියාවත් සමග සම්බන්ධ වී හෙරොයින් ප්‍රවාහනය කරන බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබිණි.

එම ජාවාරම්කරු මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මුදලින් මෙම කඩවත පිහිටි නිවස මිලදීගෙන ඇත. ඔහුගේ අනියම් භාර්යාව නමට හැඳල වත්තල පිහිටි නිවස තිබී ඇත. ජාවාරම්කරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදු කරන බව නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා මාධ්‍යට ප්‍රකාශ කළේය.

ඒ අනුව මහර සහ මීගමුව අධිකරණවලට කරුණු වාර්තා කිරීමෙන් පසු ඔහු සතු දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කළ බවත්, මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හෙරොයින් ජාවාරමේ නිරත අත්අඩංගුවට ගත් තිදෙනා මේ වන විට මීගමුව හා මහර බන්ධනාගාරගත කර ඇති බව මෙම අවස්ථාවට එක්වූ උසස් පොලිස් නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතා ද එක්ව සිටි අතර යුක්තිය මෙහෙයුම තුළින් විශාල ප්‍රගතියක් ළඟා කරගෙන ඇති අතර ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද මෙම මෙහෙයුම් සඳහා ලබාදුන් සහාය ප්‍රශංසනීය බව ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment