ජාතික ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ නව තරග වාර්තා දෙකක් බිහි වෙයි

158

ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරග ආරම්භ කරමින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (24 වැනිදා) පැවති තරගවලදී නව ජාතික ක්‍රීඩා තරගාවලි වාර්තා දෙකක් පිහිටුවීමට උතුරු මැද පළාතේ විනෝදනී ලක්මාලි සහ උතුරු පළාතේ එන්. පී. නේසරාසා දක්ෂිතා යන ක්‍රීඩිකාවෝ සමත්වූහ.

විනෝදනී ලක්මාලි කවපෙත්ත විසිකිරීමේ තරගයෙන් නව ජාතික ක්‍රීඩා තරගාවලි වාර්තාව පිහිටුවූ අතර ඇය එහිදී මීටර් 44.59 ක දක්ෂතාවයක් වාර්තා කළාය.

මීට පෙර එම ඉසව්වේ හොඳම දක්ෂතාවය ලෙස වාර්තා වූයේ මීටර් 44.17 කි.

ජාතික ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ නව තරග වාර්තා දෙකක් බිහි වෙයි

එම ඉසව්වේ දෙවන ස්ථානයට පත් වීමට ඉෂාරා මධුරංගි සමත් වූ අතර තෙවන ස්ථානය චානුකා අතපත්තු දිනා ගත්තාය.

රිටි පැනීමේ ඉසව්වෙන් නව ජාතික තරගාවලි වාර්තාව බිහි කළ නේසරාසා දක්ෂිතා එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 3.50 කි. මීට පෙර එම ඉසව්වේ හොඳම දක්ෂතාවය ලෙස වාර්තා වූයේ මීටර් 3.48කි. එම ඉසව්වේ දෙවැනි ස්ථානය යූ. ටී. වික්‍රමසේකර සහ තෙවන ස්ථානය කේ. සී. කොඩිතුවක්කු හට හිමි විය.

ජාතික ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ නව තරග වාර්තා දෙකක් බිහි වෙයි

ඊයේ තවත් අවසන් තරග හයක් පැවති අතර එහිදී මීටර් 100 කාන්තා සහ මීටර් 100 පිරිමි සහාය දිවීමේ යන තරග දෙකෙන්ම ජයග්‍රහණය කිරීමට දකුණු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව සබරගමු පළාතේ එස්. ජේ. රණසිංහ ක්‍රීඩිකාව දිනාගත් අතර මීටර් 10000 කාන්තා තරගයේ ජයග්‍රහණය මධ්‍යම පළාතේ ඩබ්ලිව්. එම්. හේරත් ට හිමිවිය.

තුන්පිම්ම කාන්තා ඉසව්ව ඊ.එම්.එස්. උපේක්ෂා ජයග්‍රහණය කළ අතර ඇය බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුණාය.

මීටර් 5000 පිරිමි ධාවන තරගයේ ජයග්‍රහණය ද බස්නාහිර පළාතේ ඩී. හේමන්ත කුමාර දිනාගත්තේය.

ඡායාරූප – කමල් වන්නිආරච්චි

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment