නායක හාමුදුරුවන්ගේ ප්‍රාඩෝ රථයෙන් අරක්කු ඇද්ද රියදුරු…

477

”බුදු සරණයි දෙවි පිහිටයි” යනුවෙන් ලොකු අකුරින් ඉදිරිපස සඳහන් කළ ලොරි රථවල හොර හරක් ජාවාරම සිදුකරමින් ආගම දහම බඩගෝස්තරය කරගත් ඇතැම් ජාවාරම්කරුවන් පිළිබඳ අප අසා ඇත. එහි වරද එවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයන් මත මිස හිත් පිත් නැති ලොරි රථ පිට පටවා පලක් නැත. ආගමික සංකේත, ආගමික උද්ධෘත පමණක් නොව හැකිනම් අම්මා තාත්තා වුවද පාවාදෙමින් කූට ජාවාරම් ආදියේ නිරත වන පිරිස් එදත් අදත් දකින්නට ලැබුණ අතර පවතින කැත හිරිකිත සමාජ වටපිටාවක් තුළ හෙට ද එහි වෙනසක් අපේක්ෂා කළ නොහැකිය. මේ කියන සමාජ සෝදා පාලූවේ ”තරම” මැනවින් ප‍්‍රදර්ශනය කළ සිදුවීමක් ඉකුත් දිනෙක මහනුවර ප‍්‍රදේශයෙන් වාර්තා විය.

මහනුවරට මහත් අපකීර්තියක් ගෙනදුන් එම පුවත මාධ්‍ය කිහිපයක් ඔස්සේ වාර්තා කර තිබුණේ මහනුවර ප‍්‍රදේශයේ පිහිටි එක්තරා සුප‍්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප‍්‍රාඩෝ ජීප් රථය සහ එම ජීප් රථයෙන් ප‍්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් සමග ජීප් රථයේ රියදුරු මැණික්හින්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඉහත සඳහන් කාරණා හෙළි කර ගැනීමට පොලීසිය සමත් වී ඇති බවත්ය.

වාර්ෂික ඇසළ මහා දළදා පෙරහැර පැවැත්වීම හේතුවෙන් පසුගිය සතිය තුළ මහනුවර කෙරෙහි රටේම අවධානය වැඩි වැඩියෙන් යොමුව පැවති වටපිටාවක් තුළ මාධ්‍ය මගින් වාර්තා කළ මෙම ”වෙනස්ම ආකාරයේ” පුවතක් හේතුවෙන් ප‍්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන, විහාරාධිපති හිමිවරුන්ගේ පමණක් නොව සමස්ත බෞද්ධ ජනතාවගේම අවධානය ඒ කෙරෙහි යොමු වන්නට විය. අප විසින් මෙම සිදුවීමේ ඇත්ත නැත්ත සොයා බැලීමේ දී අනාවරණය වූ කරුණුවලට අනුව අපට දැනගන්නට ලැබුණේ මැණික්හින්න පොලිසිය විසින් ඉහත සඳහන් පුවතට අදාළව අරක්කු බෝතල් 25ක්, සුඛෝපභෝගී ප‍්‍රාඩෝ ජීප් රථයක් සහ එම රථයේ රියදුරු යැයි සඳහන් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවය. වාර්තා කළ පුවතට අනුව එහි කිසිදු වරදක් නැත. ගැටලූව පැන නගින්නේ ඉන් අනතුරුවය. ඊට හේතුව බවට පත් වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් සිදුකරන ලද එක්තරා ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන්ය. එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය නම් පොලිස් අත්අඩංගුවට පත් ප‍්‍රාඩෝ ජීප් රථය ප‍්‍රදේශයේ එක්තරා විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අයත් ජීප් රථයක් බවත් තමන් එහි රියදුරු ලෙස කටයුතු කරනු ලබන බවත්ය.

මේ පිළිබඳව අප විසින් වැඩිදුරටත් කරන ලද සොයාබැලීමක දී හෙළිදරව් කර ගත් තොරතුරුවලට අනුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැණික්හින්න ගල්අමුණ ප‍්‍රදේශයේ පදිංචි අතපත්තු ආරච්චිලාගේ තෙන්නකෝන් බණ්ඩාර නමැති පුද්ගලයෙක් ය. ඉකුත් දිනක නවීන පන්නයේ ප‍්‍රාඩෝ ජීප් රථයකින් මැණික්හින්න ප‍්‍රදේශයේ පිහිටි එක්තරා මත්පැන් අලෙවි හලක් වෙත ගමන් කර ඇති බණ්ඩාර එහිදී මත්පැන් බෝතල් 25ක් මිලදී ගන්නා අතර ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම මිලදී ගැනීමෙන් අනතුරුවය. පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග නීතියෙන් බේරී පලා යෑම පිණිස නිදහසට කාරණා ඉදිරිපත් කරන බණ්ඩාර එහිදී පළමුව සඳහන් කර ඇත්තේ තම නිවසේ පැවැත්වෙන දානමය පුණ්‍ය කර්මයක් පිණිස සහභාගී වන ගිහි පින්වතුන්ගේ සිත් සතුටු කිරීම පිණිස අදාළ මත්පැන් තොගය මිලදීගත් බවය. එය පොලිසියෙන් බේරි පලා යෑමට සාර්ථක උත්තරයක් නොවුණු තැන ඔහු විසින් තවත් උපක‍්‍රමයක් ඒ සඳහා යොදාගෙන ඇත. එහිදී බණ්ඩාර විසින් පොලිසිය හමුවේ සඳහන් කර සිටින්නේ අදාළ ප‍්‍රාඩෝ ජීප් රථය ප‍්‍රදේශයේ එක්තරා විහාරස්ථානයකට අයත් එකක් බවත් ආගමේ දහමේ නාමයෙන් තමන්ව නිදහස් කර හරින ලෙසත්ය. ප‍්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන කීපයක් සමග සමීපව කටයුතු කරන පුද්ගලයෙක් ලෙස ප‍්‍රකට බණ්ඩාර ”උපායක්” ලෙස ප‍්‍රදේශයේ එක්තරා විහාරස්ථානයක් සහ එහි විහාරාධිපති හිමියන් මෙම සිදුවීම හා සම්බන්ධ කරගනු ලබන්නේ උපායමාර්ගික පලා යෑමක් තුළින් නීතියෙන් බේරීම පිණිසය. එහෙත් එම අවස්ථාව පොලිසිය විසින්ම බණ්ඩාර උදෙසා ලබා නොදෙන අතර අදාළ සිදුවීම රටේම අවධානය දිනාගත් ”පුවතක්” බවට පත් වන්නේ එතැන් සිටය. ආගම බිල්ලට තබා පලා යෑමට තැත් කළ බණ්ඩාරව බෙල්ල මුලින් අල්ලා ගන්නා මැණික්හින්න පොලිසිය ඔහුගේ ප‍්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය නොකොට මෙම සිදුවීම පිළිබඳ තොරතුරු මාධ්‍ය හමුවේ සඳහන් කර සිටීමත් සමඟ ශාසනික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ද මෙම පුවත මහත් ආන්දෝලනයක් ඇති කරවන්නක් බවට පත්විය. දැනට හෙළි වී ඇති කරුණුවලට අනුව මෙම නවීන පන්නයේ ජීප් රථය ප‍්‍රදේශයේ කිසිදු විහාරස්ථානයකට හෝ විහාරාධිපති හිමි නමකට අයත් එකක් නොවන බව තහවුරු වී ඇත. ලැබෙමින් පවතින ආරංචි මාර්ගවලට අනුව මේ වන විට එම ජීප් රථයේ අයිතිය මුස්ලිම් ජාතිකයකු සතුය. දැනට එම ජීප් රථය සහ අත්අඩංගුවට ගත් අරක්කු තොගය මැණික්හින්න පොලිසිය භාරයේ පවතින අතර සැකකරු පොලිස් ඇප මත නිදහස් කොට ඇත. පූජනීය සෙංකඩගලපුර ට පමණක් නොව ගරුතර මහා සංඝරත්නයට ද අවමානයක් කැලලක් ගෙන දෙමින් නීතියෙන් පලායෑමට තැත් කළ මෙම පුද්ගලයා සම්බන්ධ සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරමින් ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment