ලිට්‍රෝ ලොක්කන් 22කට පොලී නැතිව වාහන දීලා

1003

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයාට, විකුණුම් අධ්‍යක්ෂවරයාට සහ සමාගමේ නිලධාරීන් විසිදෙනකුට 2020 හා 2021 යන වර්ෂවලදී කිසිදු පොලී මුදලකින් තොරව (ශුන්‍ය පොලී අනුපාතය යටතේ) රුපියල් මිලියන 127.06ක කාර්යමණ්ඩල වාහන ණය මුදලක් ලබා දී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත.

සභාපතිවරයාට සහ විකුණුම් අධ්‍යක්ෂවරයාට පිළිවෙළින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක සහ රුපියල් ලක්ෂයක මාසික විනෝදාස්වාද දීමනාවක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ශුන්‍ය පොලී අනුපාතයක් යටතේ සමාගමේ නිලධාරීන් 33 දෙනකු සඳහා රුපියල් මිලියන 251ක රැකියා ආශ්‍රිත වාහන ණය මුදලක් ලබා දී ඇත. එමෙන්ම සමාගමේ න්‍ඨ 1-5 කාණ්ඩයේ නිලධාරින් 27 දෙනකු සඳහා 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික වාහන දීමනාව සියයට 30කින් වැඩිකර ඇත. නව වාහන මාසික දීමනාව රුපියල් 143,000 සිට රුපියල් 443,300 දක්වා වැඩි කර ගෙන ඇත.

සමාගම විසින් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට පවතින ලබන වැටුප මත වැටුප් සංශෝධනයක් සිදුකර ඇති අතර ඒ අනුව සමාගමේ සේවක කාර්යමණ්ඩල නව වැටුප රුපියල් 32,972 සිට රුපියල් 1,610,000ක් අතර පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල විසින් අනුමත කරන ලද සමාගමේ මෝටර් රථ ප්‍රතිපත්තියට අනුව අනුකූලව දීමනා ගෙවනු ලබන බව ද සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. මෙකී දීමනා පිළිබඳ සමාගම විසින් අදාළ අමාත්‍යංශයට සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව වෙත නිසි අයුරින් දැනුම් දී ඇති බව ද විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment