ඇමැතිගෙන් හොඳ ප්‍රතිචාර පී.එච්.අයි. වර්ජනය අත්හිටුවයි

91

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට අදාළව මතුව ඇති වෘත්තීය ගැටලු කිහිපයක් විසඳීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දැක්වීම නිසා ඔවුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවා ඇත.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර ඉකුත් 22 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේ දී අදාළ ගැටලු සම්බන්ධව මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටලු අතර සැතපුම් කුලිය, ගමන් වියදම්, නිල ඇඳුම් දීමනා, වර්තමාන ආර්ථික තත්ත්වයට අදාළව ගැළපෙන ලෙස සංශෝධනය නොවීම, දැනට යතුරුපැදි නොමැති මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සඳහා යතුරුපැදි ලබාදීම, මහජන පරීක්‍ෂක අනුමත තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක තනතුර, උසස්වීමේ තනතුරක් ලෙස ස්ථාපිත කිරීම සහ පුහුණුව ආරම්භ කිරීම ආදී ගැටලු ද ඇතුළත්ව තිබුණි.

මෙම ඉල්ලීම් සාධාරණ බවත් ඒ සම්බන්ධව අවධානය යොමුකර තීන්දු තීරණ ගැනීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ගෙන් ඉල්ලා සිටියේය.සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූ යහපත් ප්‍රතිචාරය මත ඊයේ (23 දා) සිට යළි සිය රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පියවරගෙන තිබුණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment