බිරිඳ මැරුවාට මරණ දඩුවම් ලබා තවත් බිරින්දෑවරු තිදෙනෙක් සමඟ පවුල් කෑ අමුතු මිනිහෙක්…

1450

නීතියට කොටු වුණේ වසර 19කට පසුවයි

ඒ අතර කිහිප විටක් රටත් ගිහින්…

කපිල ප‍්‍රීතිබණ්ඩාර ධර්මසිරි ලියන්ගහවෙල, බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. එම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදාවට එක් විය. ඒ දැනට දශක දෙකකට පමණ ඉහතදී සාමාන්‍ය සෙබළකු වශයෙනි.

යුද හමුදා සෙබළකු වුවත් අන් අය මෙන් නොව ඔහුගේ විනය ඉතාමත් පිරිහී තිබුණි. මත්පැන් පානයට සහ තරුණියන් ඇසුරට ලොල් වූ ඔහුට හමුදා සේවය එපා වී තිබුණි. එහෙත් කරන්න කිසි දෙයක් නොමැති නිසා අකැමැත්තෙන් වුවද වසර කිහිපයක් ඔහු හමුදා සේවයේ යෙදී සිටියේය.

එලෙස හමුදා සේවයේ යෙදී සිටි ඔහු වරක නිවාඩු ලබා නිවසේ සිටි මොහොතක මෙලෙස සිතුවේය.

”ආමි එකේ මම ගෙවන්නේ පුදුම දුකක්. කිසිම නිදහසක් නැහැ. ඒ වගේ ද මගේ යාළුවෝ. උන්ට හිතුන හිතුන දේ කරනවා. කාලා බීලා ජොලියේ ඉන්නවා. මාර නිදහසක් තියෙන්නේ. ඕන දෙයක් වුණ දෙන්. මෙහේ මොනවා හ රි කරලා සල්ලි හොයාගන්නවා. ආපහු මම කවදාවත් ආමි එකට නං යන්නෙ නෑ. ඒක ස්ථිරයි.”

නිවාඩු පැමිණ එලෙස සිතූ ඔහු යළි කිසිදිනක හමුදා සේවයට නොගියේය. ඉන්පසු මිතුරන් සමග මත්පැන් පානය කරමින් කෙළිලොල් ජීවිතයක් ඔහු ගත කළේය. එයට අමතරව තරුණියන් කිහිපදෙනෙකු ද ඔහු ඇසුරු කළේය. කලක් එලෙස ගතවිය.

කල්පනා ඔහුගේ එක් පෙම්වතියක් විය. ඇය මොහුට හදවතින්ම ආදරය කළාය. කොතරම් වැරදි කළත් ඇය ඒ සියල්ල ඉවසා දරාගෙන සිටියේය. ඔහුට තිබුණු අසීමිත ආදරය නිසාය. ඇය සිතුවේ කෙදිනක හෝ තම පෙම්වතා නිවැරදි පුද්ගලයකු කරගත හැකි බවයි. එමෙන්ම ධර්මසිරි ද අන් තරුණියන්ට වඩා ඇයට ආදරය කළේය. අවසානයේ විවිධ බාධක මේ දෙදෙනා යුග දිවියට ඇතුළු වූහ.

මාස කීපයක් දෙදෙනා සතුටින් ජීවත් වූහ. ඉන්පසු යළිත් සුපුරුදු පරිදි ධර්මසිරි පරණ ජීවිතයටම හුරු පුරුදු විය. බිරිඳ කොතරම් ඔහුව යහමගට ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවීය. අවසානයේ දෙදෙනා අතර අඬදබර පවා ඇති වූහ. එලෙස අඬදබර ඇති වූ සෑම අවස්ථාවකම ධර්මසිරි ඉතා අමානුෂික ලෙස තම බිරිඳ ට පහර දුන්නේය. අවසානයේ කරන්න කිසි දෙයක් නොමැති කල ඒ සියල්ල ඉවසාගෙන ඉතා දුක්බර ජීවිතයක් ඇය ගත කළාය.

වර්ෂ 2002 මැයි 14 වැනිදා රාත‍්‍රී ධර්මසිරි තම නිවසට පැමිණියේ අධික බීමතින්ය. එලෙස බීමතින් පැමිණි ඔහු සුපුරුදු පරිදි තම බිරිඳ සමග ආරවුලක් ඇතිකර ගත්තේය. ඇයට නොසෑහෙන ලෙස පරුෂ වචනයෙන් බැණ පහරවල් කිහිපයක්ද ගැසුවේය. බිරිඳ ද ඉවසාගෙන සිටියේ නැත. ඇයද ඔහුට බැණ වැදුණය. ඉන් කිපුණු ඔහු මුළුතැන්ගෙට ගොස් පිහියක් රැගෙන ඇයගේ ශරීරයට පහරවල් කිහිපයක් එල්ල කළේය.

එලෙස පිහි පාරවල් එල්ල කරන අවස්ථාවේ ඇය ”මේ මිනිහා මාව මරනවා. දෙවියනේ මාව බේරගන්න. කවුරු හරි මාව බේරගන්න. අනේ මාව බේරගන්න.” කියා මරු විකල්ලෙන් විලාප තැබුවාය. ඇයගේ එම විලාපය අසල්වැසියන්ට ඇසුනත් කිසිවෙකුත් ඇය බේරා ගැනීමට පැමිණියේ නැත. ඒ මන්ද දිනපතාම පාහේ එවැනි රණ්ඩුසරුවල් එම නිවසේ ඇති වන නිසාය.

බීමතින් සහ අධික කේන්තියෙන් සිටි ධර්මසිරි සිත් පිත් නැති තිරිසනකු මෙන් ඇයගේ විලාපය නොතකා පිහි පාරවල් කීපයක් එල්ල කළේය. එම පිහි පහරවල් හමුවේ අසරණවු ඇය ජීවිතය යදිමින් යළි යළිත් කෑ ගැසුවාය. එහෙත් පලක් නොවුණි. කිසිවකුත් ඇය බේරා ගැනීමට පැමිණියේ නැත. අවසානයේ ඇය ලේ විලක් මැද ඇද වැටුණාය.

ලේ විලක් මැද ඇද වැටුණු ඇය පැය භාගයක් පමණ අධික වේදනාවෙන් කෙඳිරි ගාමින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූවාය. එහෙත් ඇයට කිසිවකුගෙන් හෝ පිළිසරණක් නොලැබුණි. අවසානයේ ඇය එලෙස වේදනා විඳිමින් ඉතාමත් අවාසනාවන්ත ලෙස අවසන් හුස්ම පොදද වාතලයට මුසු කළාය.

තම බිරිඳ මියගිය බව දැනගත් ධර්මසිරි වටිනා කියන දේවල් කිහිපයක් ගමන් මල්ලක දමා නිවසින් පැන ගත්තේය. ඉන්පසු ඔහු ගැන කිසිවක් සොයා ගැනීමට ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා එම ස්ත‍්‍රීයගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ධර්මසිරිට විරුද්ධව ඒක පාර්ශවීය නඩු විභාගයක් බදුල්ල මහාධිකරණයේ දී පැවැත්විණි.

ධර්මසිරිට විරුද්ධව එලෙස නඩුවක් විභාග වෙමින් පැවතිය දී 2009 වර්ෂයේදී ගංජා තොගයක් ළඟ තබා ගැනීමේ වරදට ඔහුව පොලිස් අත්අඩංගුවට පත්විය. එහෙත් පොලිසියට ඔහු ඉහත මිනීමැරුම් නඩුවට සම්බන්ධ සැකකරු බව හඳුනා ගැනීමට නොහැකි විය. එමනිසා ඔහු ගංජා ළඟ තබා ගැනීමේ වරදට අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ඔහු වැරදිකරු වී කෑගල්ල බන්ධනාගාරයේ සිර දඬුවම් ලැබුවේය. එලෙස දඬුවම් ලබන අවස්ථාවේ ඉතා සූක්ෂම අයුරින් එම බන්ධනාගාරයෙන් පැන යෑමට ද ඔහු සමත් විය.

එලෙස පැනගිය ඔහු තැනින් තැන සැඟවී ජීවත් විය. ඒ අතර 2012 මාර්තු 29 වැනි දින තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව ලැබුණි. එහිදී සැකකාර ධර්මසිරි වැරදිකරු බවට පත් කරමින්, ඔහුට විරුද්ධව මරණ දණ්ඩනය නියම කර මහෙස්ත‍්‍රාත්වරයා නඩු තීන්දුව ලබා දුන්නේය.

එලෙස නඩු තීන්දුව ලැබුණත් මරණ දණ්ඩනයට පෙර බන්ධනාගාරයෙන් පැන ගිය ධර්මසිරි සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි විය. පොලිස් නිලධාරීන් හැකි සෑම ආකාරයකින් ඔහු ගැන සෙව්වේය. එහෙත් ඔහු ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට එම නිලධාරීන්ට නොහැකි විය. නඩු තීන්දුව ලැබුණු පසු නිරන්තරයෙන්ම තමා ගැන විමසිල්ලෙන් පොලිසිය සිටින බව ඔහු දැන ගත්තේය. එම නිසා තමන් වෙනස් පුද්ගලයකු වශයෙන් ජීවත් විය යුතු බව ඔහු තීරණය කළේය. එ අනුව ඔහු කපිල බණ්ඩාර ලෙස නම වෙනස් කර ගනිමින් එම නමට ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ද සකසා ගත්තේය.

නීතිය ඉදිරියේ මරණ දණ්ඩනයට ලක්වූ ධර්මසිරි ඉන්පසු සමාජය ඉදිරියේ පෙනී සිටියේ කපිල බණ්ඩාර යන නමිනි. ඒ සමඟම ඔහු එම ජාතික හැඳුනුම්පත භාවිත කරමින් විදෙස් ගමන් බලපත‍්‍රයක් ද සකසා ගත්තේය. ඉන්පසු කපිල කිසිදු බියක් සැකක් නොමැතිව සමාජයේ ජීවත් විය.

එලෙස ජීවත් වෙමින් සිටියදී සීදුව ප‍්‍රදේශයේ තරුණියක සමග ඔහු පෙමින් බැඳුණේය. මාස කීපයක් ගතවෙද්දී එම තරුණියව ඔහු විවාහ කර ගත්තේය. විවාහයෙන් පසු ඔහු ඇයගේ නිවසේ පදිංචි විය. මාස කීපයක් ඔහු ඇය සමඟ එම නිවසේ සතුටින් කාලය ගත කළේය. ඉන්පසු ඔහුට ක‍්‍රමක‍්‍රමයෙන් ඇයව එපා වන්නට පටන් ගත්තේය. ඒ අතර කාලය තුළ කිහිපවරක් මොහු විදෙස්ගත විය. එලෙස විදෙස් ගත වූ අවස්ථාවක ඔහු තවත් තරුණියක් සමග පෙමින් බැඳුණි.

ඇය වව්නියාව ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වූ ධර්මසිරි නොහොත් කපිල මාස කීපයකට පසු ඇයව විවාහ කර ගත්තේය. එලෙස ඇයව විවාහ කර ගත් පසු ඔහු එම තරුණියගේ නිවසේ පදිංචි විය. ඉන්පසු ඔහු සීදුව බිරිඳගේ ගෙදර සහ වව්නියාව බිරිඳගේ ගෙදර මාරුවෙන් මාරුවට ජීවත් විය. එතනින් නොනැවතුණු ඔහු කුරුණෑගල ප‍්‍රදේශයේ තරුණියක සමඟ ද පේ‍්‍රම සම්බන්ධතාවයක් පැවැත්තුවේය.

කලක් යද්දී ඔහු කිසිදු බියක් සැකක් නොමැතිව එම තරුණියව තමන්ගේ තුන්වැනි බිරිඳ ලෙස විවාහ කර ගත්තේය. ඉන්පසු ඔහු කුරුණෑගල පිහිටි ඇයගේ නිවසේ කලක් ජීවත් විය.

ඉතා සූක්ෂම ලෙස කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් තිදෙනා විවාහ කරගත් මෙම පුද්ගලයා මාරුවෙන් මාරුවට එම නිවෙස්වල කල්ගත කළේය. වසර කිහිපයක් ඉතා සූක්ෂ්ම ලෙස ඔහු එම බිරින්දෑවරු තුන් දෙනා සමග අඹුසැමියන් ලෙස ජීවත් විය. තම පළමු බිරිඳ ඝාතනය කර වසර දහනවයක් කිසිදු බියක් සැකක් නොමැතිව ඔහු ජීවත් විය.

පසුගිය දිනවල ඔහු පදිංචිව සිටියේ කඩවල, දිවුලපිටිය, කටාන ප‍්‍රදේශයේ නිවසකයි. එලෙස එම නිවසේ පදිංචිව සිටියදී නොසිතු මොහොතක ඔහුව පොලිස් අත්අඩංගුවට පත්විය. එලෙස අත්අඩංගුවට ගැන පරික්ෂා කිරීමේදී පොලිසියට ඔහු ගැන සියලූ තොරතුරු සොයා ගැනීමට හැකිවිය.

යුද හමුදාවෙන් පැන ඇවිත් තම බිරිඳ ඝාතනය කර එයට මරණීය දණ්ඩනය ලබමින් සහ ගංජා ළඟ තබා ගැනීමේ වරදකට දඬුවම් විඳිමින් සිටියදී බන්ධනාගාරයෙන් පැන ව්‍යාජ නමකින් පෙනී සිට කසාද තුනක් බැඳගත් ධර්මසිරිට අවසානයේ සිදුවූයේ කළ සියලූම වැරදිවලට වන්දි ගෙවීමටයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment