සම්මන්ත්‍රණයක් තිබෙනවා කියා ගණිත ගුරා සල්ලි අරන් පැනලා

78

– දරුවන් දෙමාපියන් අසරණ වෙලා

ගණිත ගැටලු පහසුවෙන් විසඳීම සඳහා දිවයින පුරා වැඩසටහන් පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයකු, ප්‍රධාන රූපවාහිනී නාලිකාවක දැන්වීමක් පළකර එම සම්මන්ත්‍රණ ගාස්තු දෙමව්පියන්ගෙන් කලින් ගිණුම්ගත කරවා ගෙන ඊයේ (28 දා) අනුරාධපුරයේ පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණය නොපැවැත්වීම හේතුවෙන් සහ එවැනි සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවට අදාළ හෝටලය පවා දැනුවත් කර නොතිබීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි සිසු දරු දැරියන් ඇතුළු දෙමව්පියෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළහ.

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පළකර තිබූ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙමින්, බැංකු ගිණුමකට දහස් ගණනින් මුදල් තැන්පත් කර ඊයේ (28 දා) අනුරාධපුර සුවිසල් හෝටලයට පැමිණීමෙන් අනතුරුව එම හෝටලය තුළ ඊයේ මංගල උත්සවයක් පමණක් පැවැත්වෙන බව දැන ගැනීමෙන් අනතුරුව දෙමව්පියන් සහ සිසු සිසුවියෝ දැඩි කනස්සල්ලට පත්ව සිටියහ.

පැවැත්වීමට නියමිතව තිබුණු එම ගණිත සම්මන්ත්‍රණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම මාතර, අම්පාර ඇතුළු දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින් දෙමව්පියන් සහ දරුවන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර අම්පාර, මාතර වැනි ප්‍රදේශවල සිසුන් කණ්ඩායම් වශයෙන් දෙමව්පියන්, රථවාහන කුලියට ගෙන පෙර දිනයේ (27 දා) පැමිණ අනුරාධපුර නගරයේ හෝටල් කාමර වෙන් කරවාගෙන මුදල් ගෙවමින් සිට මෙම වැඩසටහනට පැමිණි බව ඔවුහු පැවසූහ.

සුප්‍රසිද්ධ ගණිත ගුරුවරයකු වන එම ගණිත දේශකවරයා විසින් මෙම දේශනය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය සඳහා රුපියල් 50,000 ක මුදලක් ද සිංහල මාධ්‍ය සඳහා රුපියල් 13,500 ක මුදලක් අය කරන බවත්, බැංකු ගිණුම් හරහා පෙර ගෙවීමක් සිදුකරන අයට ගාස්තු මුදල් අඩුවන බව සඳහන් කරමින් කලින් මුදල් බැංකු ගත කරවා ගත් බව ද මෙහි රැස්ව සිටි දෙමව්පියෝ පැවසූහ.

ඊයේ (28 දා) උදෑසන එම දේශකවරයා හෝ සංවිධායක මණ්ඩලයේ කිසිවකු එම ස්ථානයට නොපැමිණීමත් ලබා දී තිබූ දුරකථන අංකයට ප්‍රතිචාර නොදැක්වීමත් හේතුවෙන් දෙමව්පියෝ මෙලෙස නොසන්සුන්කාරී තත්ත්වයකට පත්වූහ.

දේශනය පැවැත්වීම සඳහා නම් කරන ලද දේශන ශාලාව ද ඊයේ (28) දිනයේ වෙන් කර නොතිබීම හේතුවෙන් මෙම දේශකයාගේ ක්‍රියාව පිළිබඳව අවිශ්වාසයක් පවතින බව ද එම දෙමව්පියෝ පවසති.

එම ගුරුවරයා නොදැනුවත්ව කාර්ය මණ්ඩලයේ සිටින සංවිධානාත්මක පිරිසක් මෙලෙස මුදල් ලබාගෙන දෙමව්පියන්හට මුදල් වංචා සිදු වූ බවට ඇතැම් දෙමව්පියෝ සැක පහළ කළහ.

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් ඔස්සේ ද මෙම දේශකවරයා වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදු වූ බැවින් ගුරුවරයා පිළිබඳව කිසිදු අවිශ්වාසයක් තමන්ට නොතිබූ බවත් එම හේතුවෙන් අත්තිකාරම් මුදල් ගිණුම්ගත කිරීමට තමන් කටයුතු කළ බව ද පවසන එම දෙමව්පියන් තවදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවය.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment