60 පිරෙන වෛද්‍යවරුන් විශ්‍රාම යවයි

369

මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශ්‍රාම ගැන්වීමට තීරණය වී තිබේ.

වෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව විසින් මෙම නිර්දේශය ලබා දී ඇත. එම නිර්දේශ, කැබිනට් අනුමැතියෙන් පසු, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා වන කාලසීමාවේදී සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි 30 වැනිදා දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සහ ජුලි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වන කාල සීමාවේදී සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සඳහා අනු කමිටුව නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ඊට අමතරව දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීම, මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වීම, මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්වීම, මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්වීම, මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශ්‍රාම ගැන්වීම ද නිර්දේශ කර තිබේ.

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ග 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් විය යුතු වන අතර, ඉන් ඉදිරියට අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් මෙන්ම වෛද්‍ය නිලධාරීන් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බවට ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවේ දැක්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment