නිළියො දෙන්නෙක් එක්ක චන්න වැලන්ටයින් සමරයි

394

හැම අවුරුද්දකම වගේ කට්ටිය සමරන පෙම්වතුන්ගේ දිනය ඔන්න මෙදාපාරත් ඇවිත් ගියා. මොන මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් කට්ටිය පෙම්වතුන්ගේ දිනය නම් සමරනවා. ඔන්න මෙදාපාර පෙම්වතුන්ගේ දිනය අපි කවුරුත් දන්න චන්න පෙරේරාත් සමරලා තිබුණා. හැබැයි චන්න පෙරේරා මෙදාපාර පෙම්වතුන්ගේ දිනය සමරලා තිබුණේ අපි කවුරුත් දන්න නිළියෝ දෙන්නෙක් එක්ක. Colombo city Center හි ස්කෝප් සිනමා ශාලාවේදී. ඒ පුබුදු චතුරංගගේ බිරිඳ වූ මාෂි සිරිවර්ධන වගේම, නවක රංගන ශිල්පිනියක් වන ඉරේෂා අසංකි සමග. චන්න ඇයි මේ නිළියො දෙන්නෙක් එක්ක පෙම්වතුන්ගේ දිනය සැමරුවේ. එදා ඇත්තටම චන්නවත් සර්ප්‍රයිස් කරලා චන්නගේ දුව. ඒ වැඩේ සිද්ධ වුණේ කොහොමද කියලා දැනගන්න මේ කතාව කියවලා බලන්නම වෙනවා.
● චන්න, නිළියො දෙන්නෙක් එක්ක ජයටම වැලන්ටයින් සැමරුවා නේද?

මගේ අලුත්ම චිත්‍රපටය යුගාත්‍රා EAP මණ්ඩලයේ මාර්තු මස අග ඉඳලා තිරගත වෙනවා. ඒකෙ ගීත සහ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වන්න අපි තෝරාගත්තේ වැලන්ටයින් දවස. මොකද, මේකෙ තේමාවත් ආදර කතාවක්. මම හිතන්නේ ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි. වැලන්ටයින් දිනය තරම් හොඳ දිනයක් නැහැ කියල හිතලා, ඒක තෝරාගත්තා අපි.

නිළියො දෙන්නෙක් එක්ක චන්න වැලන්ටයින් සමරයි

● චන්නගේ අලුත්ම ආදර කතාවද මේ?

මේක මගේ අලුත්ම ආදර කතාව. මේක ආත්ම දෙකක් පුරා විහිදෙන කතාවක්. එතකොට අපි කියමුකො තුන්ඇඳුතු ආදරයක් කියලා. හැබැයි ප්‍රේක්‍ෂකයන් පිටින් දකිනවාට වැඩිය ලොකු කතාවක් මේක ඇතුළෙ තිබෙනවා. මේක ඇතුළෙ ත්‍රාසය, කුතුහලය පවා තිබෙනවා. හැබැයි ආදරය තමයි වැඩිපුරම ගැබ්වෙන්නේ. මේක වෙනස්ම අත්දැකීමක්.

● මෙදාපාර චන්න ආදරය කරන්නේ වෙනස්ම නිළියෝ දෙන්නෙකුට?

ඔව්. ඉතිං සෑහෙනදුරට නවකයෝ දෙන්නෙක්. අසංකි නවකම නැහැ. ඇය මීට කලින් රෂ් චිත්‍රපටයේ රඟපාල තිබෙනවා. මාෂිගේ පළමුවැනි ප්‍රධාන චරිතය. අසංකියි, මාෂියි හොඳ රංගනයක් ඉදිරිපත් කළා.

● අර්බුද මැද්දේ ආදරයක් ජයගන්නවා කියන්නේ ලේසි නැහැනේ?

සිනමාවේ පසුගිය සමයේ වැටීමක් තිබුණා. හැබැයි දැන් පිබිදීමක් ඇවිත් තිබෙනවා. ප්‍රේක්‍ෂකාගාර සිනමාශාලා පිරී ඉතිරී යනවා චිත්‍රපට බලන එක ආපහු පොඩි ටේ‍රන්ඩ් එකක් වෙලා තියෙනවා. මම හිතනවා මේක චිත්‍රපටවලට හොඳ කාලයක් කියලා. ඉතිං මම විශ්වාස කරනවා මගේ යුගාත්‍රා චිත්‍රපටයටත් ඒ වගේ ජනතා ආකර්ෂණයක් ලැබේවි කියලා.

නිළියො දෙන්නෙක් එක්ක චන්න වැලන්ටයින් සමරයි

● චන්නගේ වැලන්ටයින් ඩේ එක සමරන්න දුවත් පෙම්වතා එක්ක ඇවිත් හිටියා?

ඔව්.. ඔව්.. ඒගොල්ලො අහම්බයෙන් එතැනට ආවා. ඉතිං මම ඒගොල්ලන්ටත් කේක් කෑල්ලක් කැව්වා. මම බලාපොරොත්තු වුණේ නෑ, ඒ දෙන්න ඒවි කියලා.

● ඒක සර්ප්‍රයිස් එකක්ද?

ඔව්. එක්තරා විදිහකට සර්ප්‍රයිස් එකක්. මම හිතුවෙත් නෑ මේක එච්චර ප්‍රේක්‍ෂකයෝ දැනගනීවි කියලා. සමාජ මාධ්‍ය හරහාත් මේක ප්‍රචාරය වේවි කියලා.

● කතාව හැමතැනම පැතිරෙන්නේ, චන්නගේ වැලන්ටයින් එක සමරන්න දුවගේ පෙම්වතා ආපු එක නේද?

ඔව්. ඒක ඉතිං වෙනවානේ. ඒගොල්ලො තරුණයෝ. අපිට වැඩිය දුවල වැලන්ටයින් සමරන්න එපායැ. මම හිතනවා එයාටත් ඒක හොඳ අත්දැකීමක්. මම ඒකෙන් දැනගත්තේ මට සහ මගේ පවුලට, ගයාත්‍රිට ප්‍රේක්‍ෂකයො කොච්චර ආදරෙයිද කියලා. කොච්චර සුබපතනවාද? හැමෝම ඉතිං ඒදෙන්නටයි අපිටයි සුබපතලා තිබුණා.

● චන්න ඇයි ගයාත්‍රිට ආරාධනා කළේ නැත්තේ?

නැහැ. ගයාත්‍රි එදා ත්‍රිකුණාමලයේ හිටියේ, කොළඹ හිටියේ නැහැ. අපි දෙන්න වෙන්වුණත් එයා එයාගේ වැඩවලට මට ආරාධනා කරනවා. මම මගේ වැඩවලට එයාට ආරාධනා කරනවා. අපි දෙන්න අතර එහෙම වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. අපි දෙන්න නීතියෙන් වෙන් වුණාට අපි දෙන්න අතර වෙන ප්‍රශ්න කිසිවක් නෑ.

● මොනවද චන්න අලුත් වැඩකටයුතු?

මම මේ ළඟදි චිත්‍රපටයක වැඩ ඉවර කළා. ඒකෙ නම ‘සිහින අනන්තය’. ඒක මේ දිනවල අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදයේ සිනමා උළෙලට මුල්ම චිත්‍රපටය හැටියට තෝරාගෙන තිබෙනවා. ඒකෙ පූර්ව ප්‍රචාරක පටය මේ දිනවල සූදානම් කරනවා. ඊට අමතරව ‘යුගාත්‍රා’ ප්‍රචාරක කටයුතුවලට සූදානම් වෙනවා. දැන් ප්‍රචාරණ කටයුතු කියන්නේ ලෙහෙසි දෙයක් නෙමෙයිනේ. එක පැත්තකින් බැලුවහම චිත්‍රපටයක් කරන්න ලෙහෙසියි. ප්‍රචාරය කරන්න තමයි අමාරු. ඉතිං ඒ දුෂ්කර කටයුත්තට, මේ දිනවල ලෑස්ති වෙනවා.

● දුව මොනවද කිව්වේ?

දුව හරි කැමැතියි. එතැනට ආපු ඔක්කොම කැමැත්ත පළකළා. ඒක ආකර්ෂණීය චිත්‍රපටයක් වගේම ගීත එහෙමත් ජනප්‍රිය වේවි කියලත් කිව්වා. ඉතිං ඒකෙ ලස්සන ගීත දෙකක් තියෙනවා. මම කොහොමත් ආවට ගියාට චිත්‍රපට කරන්නේ නැහැ. අවුරුදු තුන හතරකට එක චිත්‍රපටයයි කරන්නේ.

නිළියො දෙන්නෙක් එක්ක චන්න වැලන්ටයින් සමරයි

● දුවත් එක්ක චිත්‍රපටයක් කරන්න අදහසක් නැතිද?

අනාගතයේදී බලමු. එයාගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඉන්න එපායැ. එයත් ආසයි රඟපාන්න.

● යුගාත්‍රා රූගත කරද්දී තිබුණේ මොන වගේ අභියෝගයක්ද?

අභියෝග කියන්නේ ප්‍රවීණයෝ කිහිපදෙනකු සමග තමයි නවකයෝ දෙදෙනා රඟපෑවෙ. ඉතිං ඔවුන්ගෙන් කරට කර රංගනයක් ගන්න අවශ්‍ය වුණා. ඒගොල්ලොත් කැපවෙලා වැඩකළා. අනිත් එක අපි ෂූටින් කළේ තද සීතලේ, මස්කෙළියේ. ඒ කාලෙ සනත් අයියත් සැත්කමක් කරලා අපහසුවෙන් හිටියේ. ඉතිං බොහොම පරිස්සමෙන් මට එයාව මෙහෙයවන්න සිද්ධ වුණා. දුෂ්කරතා මැද්දෙ හොඳ දෙයක් කරන්න පුළුවන් වුණා.

● යුගාත්‍රා ගැන ආපසු හැරිල බැලුවොත්?

චිත්‍රපටය අපි මොන විදිහට හැදුවත් ප්‍රේක්‍ෂකයො තමයි බලන්න ඕනෑ. ඉතිං මම විශ්වාස කරනවා ඉතාම විඳින්න පුළුවන් චිත්‍රපටයක්, මගේ අතින් බිහිවුණා කියලා. මෙතෙක් ලැබුණු ප්‍රතිචාර අනුව මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මම ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේ දර්ශනවාර කිහිපයක් පෙන්නුවා. ලංකාවෙත් දෙපාරක් විතර ප්‍රදර්ශනය කළා. ඒ හැමතැනින්ම හොද ප්‍රතිචාර හම්බවුණා.

නිළියො දෙන්නෙක් එක්ක චන්න වැලන්ටයින් සමරයි

චන්න කියන්නේ සිනමාවට අලුත්ම නිළියෝ හඳුන්වා දෙන්න දක්‍ෂයෙක් කියලත් සමහරු කියනවා?

එහෙම බැලුවොත් ගොඩක්. මම මේ පාර කළ සිහින අනන්තේ කියන චිත්‍රපටයෙත් නවතම නිළියක් රඟපානවා. එයාගේ නම නිම්හාරා. එතකොට ඉන්දියාවේ දෙන්නෙක් වන පූජා උමාශංකර් සහ චයිත්‍රා චන්ද්‍රානාත්. ඊට අමතර ‘මාෂි සහ අසංකි. මගේ තව ළමා චිත්‍රපටයක් තිරගත වුණා. එකෙන් තනාෂා හතුරුසිංහ හඳුන්වාදුන්නා. එයත් ඒ කාලෙ ආධුනිකයෙක් මම හිතන්නෙ එහෙම බැලුවොත් නිළියො විතරක් නෙමෙයි නවකයො ගොඩක් හඳුන්වලා දීලා තිබෙනවා.

හරියට ආදර කතා ලියැවෙන්නේ ආදරය ගැන පසුතැවීමක්වත් තියෙනවාද?

ආදරයට ආදරය කරන හින්දයි, එහෙම ආදර කතා බිහිවෙන්නේ මම විශ්වාස කරන්නේ ආදරය මතනේ මේ හැම දෙයක්ම රඳාපවතින්නේ. පෙම්වතුන් පෙම්වතියන් අතර තිබෙන ආදරයක් නෙමෙයි, සම්පූර්ණ ආදරය, කරුණාව මත පදනම් වෙන්නේ. ඉතිං මම විශ්වාස කරන්නේ සුබදායි පණිවුඩයක් සමාජයට ලබාදීමට. ආදර කතාවලට හැමදාම ප්‍රේක්‍ෂකයෝ ආදරෙයි. ප්‍රතිචාරත් තිබෙනවා. ඉතිං මම විශ්වාස කරනවා ඒවා හැමදාම ජනප්‍රියයි කියලා. ආදරය කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්.

advertistmentadvertistment
advertistmentadvertistment