නුවරඑළිය මහෙස්ත්‍රාත් නැවත ඉල්ලා ජනතාව වීදි බසිති

131

පොලිසියත් සමග ඇති කරගත් ගැටලුවක් හේතුවෙන් මහියංගනය ප්‍රදේශයට දඬුවම් මාරුවක් ලබාදුන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය නැවත නුවරඑළියටම රාජකාරි සඳහා ඉල්ලා මහජනතාව ඊයේ (13) නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මෙනෙවියට අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයට වැඩ රාජකාරී නොමැති අතිරේක වැඩ බලන දිසාවිනිසුරු ලෙස මාරුකර ඇත. පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු කල් යෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ගැන මහෙස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට ලක්වීමත් සමග මහේස්ත්‍රාත්වරියගේ එම වැඩ පිළිවෙළට එරෙහිව පොලිස් නිලධාරීන් කල්ලි ගැසී සැලසුම් සහගත ලෙස අධිකරණයෙන් නොවැම්බර් 06 වන දින පිටව ගොස් ඇති බව නීතිඥ සංගමය කරුණු අනාවරණය කළේය. මෙලෙස දඬුවම් ස්ථාන මාරුවක් ලබාදුන් මහෙස්ත්‍රාත්වරිය නැවත නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය ලෙස පත් කරන ලෙස ඉල්ලා සටන් පාඨ සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් නුවරඑළිය ජන පිරිසක් නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂකයන් අදහස් දක්වමින් කියා සිටියේ මහජනතාවගේ සුබ සිද්ධිය ගැන හිතා කටයුතු කරන කාර්යක්ෂම නිලධාරිණියක් වන දඬුවම් ස්ථාන මාරුව ලබා තිබෙන නුවරඑළිය මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මෙනවියගේ ස්ථාන මාරුව අහෝසි කොට නැවත නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය ලෙස පත්වීම් ලබා දෙන ලෙසයි. වසර ගණනාවක් පුරාවට ඇද ඇද තිබ්බ නඩු විශාල ප්‍රමාණයක් මෙතුමිය ආවට පස්සේ විසඳිලා නඩු තීන්දු ලබාදීලා තිබෙනවා. නුවරඑළිය අවට තිබෙන රජයේ ඉඩම් අත්තනෝමතික ලෙස මංකොල්ල කෑමට විරුද්ධව කතා කරපු කෙනෙක් නිලධාරිනියක්. ඕනෑම තරාතිරමක රාජ්‍ය නිලධාරියකුගේ වැරැද්ද පෙන්වා දෙන තරම් නිර්භීතයි. මේ වගේ කෙනෙක්ව, පොලිස් නිලධාරීන් එක්ක ඇතිකර ගත්ත ප්‍රශ්නයක් නිසා දඬුවම් ස්ථාන මාරුවක් ලබාදීම අපි තරයේ හෙලා දකිනවා. අපි රජයෙන් ඉල්ලන්නේ මේ වගේ නිලධාරිනියක් නුවරඑළියෙන් යවනවා වෙනුවට ඇයට නුවරඑළියේම රාජකාරී ඉදිරියටත් කිරීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසයි යනුවෙන් වැඩිදුර අදහස් දැක්වමින් උද්ඝෝෂකයෝ කියා සිටියහ.
නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment