අද සීඅයිඩීයේ පෙනී සිටින්නැයි කෙහෙළියට උසාවි නියෝගයක්

249

රට යෑමත් තහනම්

චන්ද්‍රගුප්ත ඇතුළු හයදෙනකුටත් ඇප නෑ

හිටපු සෞඛ්‍ය ඇමැති වර්තමාන පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදේශගතවීම වළක්වමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (01දා) පස්වරුවේ නියෝගයක් නිකුත් කළාය.

අද (02දා) පෙරවරු 9.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තම අධිකරණය හමුවේ කැඳවනු ලබන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නියෝගයක් නිකුත් කළාය.

නීතිපතිවරයා වෙනුවෙන් එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. විමර්ශනවලට අවශ්‍ය ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා පසුගිය 31 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබියදීත් ඔහු පෙනී නොසිටි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පැවසුවාය. එසේ පැමිණීමට නොහැකි වූ එක් හේතුවක් වූයේ 31 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගි වූ නිසාවෙන් වන්නේ යැයි ඔහු පවසා ඇතත් එදින එම සාකච්ඡාවට ඔහු නොපැමිණි බව රාජ්‍ය වියදම් කළමනාකරණ පිළිබඳ අමාත්‍ය අනුකමිටු ලේකම්වරයා ලිඛිතව තහවුරු කර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පැවසුවාය.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය (31) වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි කරුණු නිශ්චිත කර ගැනීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විමර්ශන සඳහා පසුගිය 31 වැනිදා ඔහු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි නඩු කටයුත්ත ආවරණය කළ මාධ්‍යවේදීන්ගෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01දා) ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගෙන තිබිණි. ඔහුට අදාළ නඩු කටයුත්ත ආරම්භ වූ වේලාව මෙන්ම අවසන් වූ වේලාව සනාථ කර ගැනීම සඳහා අධිකරණ ලඝු ලේඛිකාවන්ගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා බවද එකී ප්‍රකාශ සටහන් කිරීමට පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පැවසීය.

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් හය දෙනකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් හය දෙනා ලබන පහළොස් වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද නියෝග කළාය. එම නඩුවේ පස්වෙනි සැකකරු ලෙස නම් කර තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයීම් අංශයේ ගබඩා පාලකවරයා ලෙස කටයුතු කළ සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීරය අප දෙකක් මත දැඩි ඇප කොන්දේසි පනවා මුදා හැරීමට නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment