පළාත් පාලන ආයතන නියෝජිතයාගේ භූමිකාව

199

මෙසේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම පිළිබඳ නිසි හා ප්‍රමාණවත් දැනුමක් ඇති නියෝජිතයන් පාර්ලිමේන්තුව වෙත යෑම සහතික වීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉදිරි අනාගතය උදෙසා වඩා සුබදායී වනු ඇත.

ශ්‍රී ලංකා රාජ්‍යය පාලනය කරන ආයතනයක දේශපාලන නියෝජිතයකු වීමේ ආරම්භය බොහෝවිට සිදුවනු ලබන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තුළින් පළාත් පාලන ආයතනයන් තුළ එනම් ප්‍රාදේශීය සභා, නගර සභා හෝ මහ නගර සභාවක මන්ත්‍රීධුරයක් සඳහා තේරී පත් වීමෙනි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාය තුළ ඇති නිදහස හා විවෘත අර්ථ ක්‍රමයේ අශිෂ්ට ප්‍රතිලාභයන් මත විෂය දැනුම, වෘත්තීය, පරිපාලන, කළමනාකරණ සුදුසුකම් නොසලකා බොහෝවිට මූල්‍ය ශක්තිය ඉස්මතු වීම මත නියෝජිතයන් තෝරා පත්කරගැනීම සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස තම කාර්යභාරයට උචිත ප්‍රමාණවත් විෂය දැනුමක්, අවබෝධයක් නොමැති අයවලුන්ගේ පත්වීම සිදු වනු ලබයි.

පළාත් පාලන ආයතන නියෝජිතයාගේ භූමිකාව

කිසිදු ආයතනයක ගෞරවාන්විත කම්කරු හෝ කාර්යාල කාර්ය සහායක තනතුරකින් හෝ ලබාගන්නා වූ ආයතනික පලපුරුද්ද හා විනය නොමැති අයවලුන් පාලනයට පැමිණ උපාධි, පශ්චාත් උපාධි, ආයතනික පලපුරුද්ද ඇති නිලධාරීන් වෙත උපදෙස් දීම ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ඉතා සුලභව දැකිය හැක.

මෙය පිටුදැකීම උදෙසා කිසියම් හෝ ප්‍රමාණයකට අධ්‍යාපන පරිසාධන මට්ටම් එනම් සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් උපාධි වැනි නිර්නායකයන්

යොදාගැනීමට හැකි වුවද එය වඩා ප්‍රායෝගික, සාධාරණ මෙන්ම අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ යැයි සිතිය නොහැක. තේරීපත් වූ නියෝජිතයන් වෙත ලබාදෙන්නා වූ වැඩමුළු සහ නිශ්චිත නොවූ පුහුණු සැසිවාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

එමෙන්ම අපට දැකිය හැකි විෂය දැනුම මඳ බොහෝ මහජන නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව, නීති, අණපනත්, ප්‍රඥප්ති, ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි වැනි ලේඛනයන් පිළිබඳ හෝ එවැනි දේ පවතීද යැයි හෝ දැනුමක් නොමැති අයවලුන්ය.

මෙහිදී සිදු කළ හැකි වඩා ප්‍රායෝගික වැඩසටහනක් වනුයේ, මහජන නියෝජිතයෙකු ලෙස පළාත් පාලන ආයතන වෙත තේරී පත්වීම මූලික සුදුසුකමක් සේ සලකා ඔවුන් වෙත හදාරා සමත් විය යුතු රාජ්‍ය පාලනය මෙහෙයවීම සම්බන්ධයෙන් වූ නිශ්චිත පාඨමාලාවක් සකස් කර දීමයි.

සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක කාල සීමාව වනුයේ වසර 4 කි. එබැවින් එම කාලසීමාව තුළ හදාරා නිමකළ යුතු ‘රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම’ උදෙසා වූ විෂයයන් ඇතුළත් ශ්‍රාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික අධ්‍යයනයන් ඇතුළත් උපාධි හෝ ඩිප්ලෝමා මට්ටමින් යුත් පාඨමාලාවක් හඳුන්වා දිය හැකිය.

★ දේශපාලන විද්‍යාවේ මූලිකාංග ඇතුළත්, රාජ්‍යය, ආණ්ඩුව, බලය බෙදීම, බලතල බෙදීම,

මැතිවරණ ක්‍රම…

★ කළමනාකරණ හා පරිපාලන මූලිකාංගයන්,

★ ගිණුම් සහ විගණනය පිළිබඳ මූලිකාංගයන්,

★ අර්ථ ක්‍රමය හා සමාජ සුබසාධනය,

වැනි රාජ්‍ය පාලනයෙහි අත්‍යවශ්‍ය පැතිකඩයන් පිළිබඳ දැනුමක් ලබාගත හැකි පාඨමාලාවක් හඳුන්වා දිය යුතුය.

මෙම පාඨමාලාව විවෘත විශ්වවිද්‍යාලය හෝ එවැනි වඩා පුළුල් හා නිදහස් ප්‍රවේශයක් ඇති ආයතනයක් සම්බන්ධ කර ගැනීම යෝග්‍ය වේ.

එමෙන්ම මෙම පාඨමාලාව, නියෝජිතයකු වීමේ ආරම්භය සනිටුහන් වන පළාත් පාලන ආයතනයන් තුළ ස්ථාපිත කර ඉදිරි දේශපාලන නියෝජිත අවස්ථාවන්වලදී එනම්, දෙවන වරට පළාත් පාලන ආයතන වෙත තරඟ කිරීම හෝ ඉන් ඉදිරියට ඉහළ තලයන්හි ඇති මැතිවරණයන් සඳහා ඉදිරිපත් වීමේ අත්‍යවශ්‍ය මූලික සුදුසුකමක් ලෙස යොදාගත යුතු වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගනු ලබන උපාධියක් පැවතීම වැනි නිශ්චිත සුදුසුකම්

ඉහත කී පාඨමාලාව හදාරා සමත්ව තිබීමේ අවශ්‍යතාව සඳහා නිදහස් කිරීම් සිදුකළ හැකිය.

එමෙන්ම අදාළ සභිකයා දෙවන වර ඉදිරිපත් වන්නේ නම් නාමයෝජනා ලබාදීම උදෙසා මෙම පාඨමාලාව හදාරා සමත්ව තිබීම අත්‍යවශ්‍ය සාධකයක් කර ගත යුතුය.

මෙසේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම පිළිබඳ නිසි හා ප්‍රමාණවත් දැනුමක් ඇති නියෝජිතයන් පාර්ලිමේන්තුව වෙත යෑම සහතික වීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉදිරි අනාගතය උදෙසා වඩා සුබදායී වනු ඇත.

නැතහොත් සිදුවනුයේ, නිසි අධ්‍යයනයක් කිරීමට දැනුම නොමැතිවීම මත ම ඉදිරි දැක්මක්, සැලසුමක් නොමැතිව ව්‍යාපෘති සෑදීම වැනි ක්‍රියාවන් උදෙසා පමණක්ම උනන්දු වන සභිකයින් බිහිවිමයි.

සමානුපාතික නියෝජන ක්‍රමයේ ප්‍රධාන එක් ලක්ෂණයක් වනුයේ අසීමිත අභිමතානුසාරී බලයකින් යුත් පක්ෂ නායකත්වයක් බිහි වීමයි. එහිදී බොහෝ විට සිදුවනුයේ අදාළ දේශපාලන පක්ෂය

ප්‍රායෝගිකව පාලනය කරන තැනැත්තාගේ ග්‍රහණයට පක්ෂය ද අවසානයේ රට ද නතු වීමයි.

අවසානයේ කිසිදු විශේෂිත විෂය දැනුමකින් තොර වීම හේතුකොටගෙන ම ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා රාජ්‍යය හෑල්ලු වන මුදල් ඇමතිවරුන් බිහිවීම ද සිදුවනු ඇත.

සාක්ෂරතාවය අතින් ලෝකයේ ඉහළම රටක් ලෙස ලෝකෙට පරකාසේ වුවද රාජ්‍ය පාලන දැනුම අතින් ශ්‍රී ලංකාව ඉතා දුර්වලය.

එසේනම් ශ්‍රී ලංකා රාජ්‍යයේ මද දැනුම දැඩි මුදල එක් වූ ජනප්‍රියත්වය මත පත්වන්නා වූ හුදු දේශපාලන නියෝජිතත්ත්වය වෙනුවට විෂය අවබෝධය, වෘත්තීය දැනුම හා පළපුරුද්ද මත වූ දේශපාලන නියෝජිතයන් බිහි කර ගැනීමට කාලය පැමිණ ඇත. නිසි කලට පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු සැලසේවායි ප්‍රාර්ථනා කරමි.

නීතිඥ – ගැමුණු කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment