සර්බියානු ජාතිකයාගේ ගමන් මල්ල දුම්රියේදී උස්සලා

135

නැවත සිය මව්රටට යෑමට කටුනායක බලා දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයකුට අයත් විදේශ ගමන් බලපත්‍රය ගුවන් ගමන් බලපත් ඇතුළු වටිනා දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සර්බියානු ජාතික දමීර් හැඩ්සික් නමැති අයගේ පැමිණිල්ල මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. මාතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි සර්බියානු ජාතිකයා බෙලිඅත්ත මරදාන ශීඝ්‍රගාමී දුම්රියෙන් වැලිගම සිට කොළඹ කොටුව බලා ගමන් කර ඇති අතර, කළුතර දකුණ දුම්රිය ස්ථානයේදී කිසියම් පුද්ගලයකු සිය ගමන් මල්ල රැගෙන දුම්රියෙන් බැස පලා ගිය බවට පොලිසියට පැමිණිලි කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගමන් මල්ල තුළ විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ටිකට්පත, ඩ්‍රෝන කැමරාවක්, කැමරාවක්, ලැප්ටොප් යන්ත්‍රයක්,ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක් සහ යූරෝ 200ක මුදලක් තිබූ බවද සඳහන් වේ. සොරකම සිදුවීමෙන් පසු නැවත දුම්රිය නතර කර ඇත්තේ පානදුර දුම්රිය ස්ථානයේ බැවින් සර්බියානුවා පානදුර දුම්රිය ස්ථානයෙන් බැස පානදුර දකුණ පොලිසියට සිද්ධිය දැනුම් දීමෙන් පසු කළුතර දකුණ පොලිසිය දැනුවත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. සැකකරු සොයා කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment