සතොසයි රටයි ගඳගැස්වූ සුදුලූනු ජාවාරම හවුලේ කෑමක්

1013

අද ලංකාවේ දේශපාලකයන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. රටේ ආර්ථික ප‍්‍රතිපත්තියක් නැතිවුණාම බලයට එන ඕනෑම ආණ්ඩුවක ඇමැතිටයි ආණ්ඩුවටයි ඕනෑ විදියට ප‍්‍රතිපත්ති හදලා රෑ නින්දට ගිහින් උදේ නැගිටිද්දි ඒ ප‍්‍රතිපත්ති වෙනස් කරන්න වුණත් පුළුවන්.

මේක රටේ බලයට පැමිණි සහ බලයේ සිටින බොහෝ දේශපාලකයන් තුළින් අපිට දැක ගන්න, දැන ගන්න ලැබෙන දෙයකි. මෙය ඊළඟ ආණ්ඩුව වෙනස් කරයි කියල ජනතාව වෙනස්වීම් කළ ද බලයට පැමිණි විගස එසේ නොවන බව ජනතාවට පෙනී යයි. එවිට කරන්න දෙයක් නොමැතිව ජනතාව තවත් ජනවරමක් එනතෙක් බලා සිටී. එම ජන වරමෙන් ද පරාජයට පත්වන්නේ ජනතාව මිස දේශපාලකයන් නොවන බව අවබෝධ වනවිට සියල්ල සිදුවී හමාරය.

මෙය අපේ රටේ පොදු ධර්මතාවයක් වී ඇත. දේශපාලකයන් සහ දේශපාලනය අද ජනතාව කතා කිරීමට අපි‍්‍රය මාතෘකාවක් වී ඇත. දේශපාලකයන් ගැන කතාකළොත් දූෂණ, අක‍්‍රමිකතා, චණ්ඩිකම් ගැන අඩුවක් නොමැති බව පෙනීයයි. මේ දූෂණ අතරට මෑතකදී කරළියට පැමිණියේ සුදුලූනු මගඩියයි. මේ මගඩිය හෙළිවන්නේ සතොස ආයතනයේ දූෂිත නිලධාරීන් පිරිසක් එක්ව වරායෙන් මුදාගත් සුදුලූනු බහලූම් දෙකක් සතොසට ලබා ගන්නා මුවාවෙන් වෙනත් ව්‍යාපාරිකයකුට අඩු මුදලට විකුණා දැමීමට කටයුතු කරන බවට පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට තොරතුරු ලැබීමත් සමගය.

තුෂාන් ගුණවර්ධන මහතා යනු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සන සහිතව පාරිභෝගික අධිකාරියට සභාපතිවරයා සමග පත් කළ අධ්‍යක්‍ෂවරුන් 11 දෙනා අතර සිටින අයෙකි. මේ අධ්‍යක්‍ෂවරුන් 11 අතර තුෂාන් ගුණවර්ධන මහතා ඇතුළු තුන්දෙනකු විධායක අධ්‍යක්‍ෂවරුන් ලෙස පත්කර සිටී. ඒ බව ඔවුන් රාජකාරියේ නිරත වූ කාමරවල ඉදිරිපස සටහන් කර ඇත. පාරිභෝගික අධිකාරිය යනු නියාමන ආයතනයකි. නියාමන ආයතනයකට පත්කරන අධ්‍යක්‍ෂ මණ්ඩලය හිතූ හිතූ ලෙස ඉවත් කළ නොහැක. මියයාමකින් තොරව ඔවුන් ඉවත් කළ හැක්කේ සිය කැමැත්තෙන් ඉල්ලා අස්වුවහොත් පමණි. තුෂාන් ගුණවර්ධන මහතා කියනාකාරයට කැබිනට් මණ්ඩලයටවත් ඔහු ඉවත් කළ නොහැක. එමෙන්ම ඉවත් කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ බහුතරයකටවත් නොහැකි බවත් එසේ කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ඉවත් කළ යුතුය. මෙවැනි රැකවරණයක් පවතින තුෂාන් ගුණවර්ධන මහතාට සිය කැමැත්තෙන් රාජකාරියෙන් ඉවත් වීමට සිදුවන්නේ මේ සුදුලූනු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටියදීය. ඔහුගේ ඉවත්වීමට දේශපාලකයන් ගෑවී නැතැයි කිව හැකිද?

ඔහු නිකම්ම ඉවත් වූයේ ද නැත. සුදුලූනු වංචාවට එරෙහිව අදාළ අංශවලට පැමිණිලි කරමින් මෙය මේ රටේ සිදුවූ ලොකු ගේම් එකක් බවත් ප‍්‍රකාශ කළේය. එම ගේම් එකට පහළ සිට ඉහළට බොහෝ පිරිස් සම්බන්ධ වී ඇති බවත් මෙයට පෙර උඳු කන්ටේනර්, සීනි සහ පිටි සම්බන්ධයෙන් ද මෙවැනිම ආකාරයේ ගනුදෙනු සිදුවී ඇති බවත් හෙළි කළේය.

තුෂාන් ගුණවර්ධන මහතා මෙම ජාවාරම පිටුපස පහළ සිට ඉහළට බොහෝ සතොස පිරිස් සිටින බවට ප‍්‍රකාශ කළත් අභ්‍යන්තර විගණනය මගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය), බෙදාහැරීම් කළමනාකරු හා වැලිසර තොග ගබඩා කළමනාකරු ඇතුළු තිදෙනාගේ වැඩ තහනම් කර තිබිණි. අනතුරුව පෑලියගොඩ පොලිසිය මගින් සුදුලූනු කිලෝ 54860ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මූල්‍ය සුසිරි පෙරේරා මහතා පමණක් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළේය. සුසිරි පෙරේරා මහතා වැරදිකරුද?
නිවැරැදිකරුද යන්න අධිකරණය විසින් තීරණය කරනු ඇත. එහෙත් මේ ජාවාරම පිටුපස වැඩ තහනමට ලක්වී නැවත සේවයට පැමිණි තවත් පිරිසක් සිටින බව කියැවේ. ඔවුන් කවුද ඔවුන්ව ද රටට හෙළිවිය යුතුය. ජාවාරම එක් නිලධාරියෙකුට පමණක් සිදුකළ හැකි යැයි අපි ද නොසිතමු. ඒ අනුව සුදුලූනු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් නිසි ලෙස සිදුකර ඇති බව නොපෙනේ. මේ ගනුදෙනුව පිළිබඳ සතොස ඉහළ නිලධාරීන් දැනුවත් කර නැති බව කියති. එහෙත් ලංකා සතොස ප‍්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ සහ සභාපති ආනන්ද පීරිස් යන මහත්වරුන් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුල සිට අග දක්වාම දැනුවත්ව සිටි බව සඳහන් කළ හැකි ඊමේල් මාලාවක් තිබේ. සුදුලූනු ගනුදෙනුව ප‍්‍රමාද වනවිට එම ප‍්‍රමාදය සිදුවන්නේ ඇයි ද යනුවෙන් විමසන ප‍්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතා ලක් සතොස නි. සාමාන්‍යාධිකාරී (ප‍්‍රසම්පාදන) චමිලා අසුරමාන්න වෙත යවන ඊමේල් පණිවුඩයකින් විමසා තිබේ. එසේ තිබියදී සතොස ඉහළ පාලන අධිකාරිය මෙය නොදැන සිටි බව කීම විශ්වාස කළ හැකිද?

කොළඹ වරායේදී සතොස මගින් 105ට ගන්නා සුදුලූනු කිලෝව රුපියල් 135ට මේ අය අලෙවි කරන්නේ්ද සතොසට සුදුලූනු සපයන සැපයුම්කරුවකුටය.

මෙවැනි තත්ත්වයක් තිබියදී සුදුලූනු මිල සම්බන්ධයෙන් චමිලා අසුරමාන්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සැපයුම්) ආර්. එස්. ප‍්‍රනාන්දු මහතා දැනුවත්ව නොසිටි බව විශ්වාස කළ හැකිද? ලංකා සතොසේ LSL TRO/LOGISTIC S/2021/09/05 දරන අභ්‍යන්තර දැනුම්දීමේ ලිපිය මගින් හෙළිවන පරිදි ආර්. එස්. ප‍්‍රනාන්දු විසින් චමිලා අසුරමාන්න හරහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරාට මේ පිළිබඳව දැනුම්දී ඇත. මුළු සුදුලූනු තොගයම කිලෝව රුපියල් 135 බැගින් එන්. එස්්. එන්ටර්ප‍්‍රයිස් සමාගමට විකිණීමට තීරණය කර ඇතැයි එම දැනුම්දීමේ ලිපියේ සඳහන්ය. චමිලා අසුරමාන්න යනු කලක් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ මූල්‍ය අංශයේ සේවයේ සිටියදී ඇතිවූ ගැටලූවක් මත ඉවත්ව සිටි රංජිත් පෙරේරා මහතා සේවයට ගත් තැනැත්තියකි. ඇයට භාණ්ඩ සැපයුම් අංශය පිළිබඳව (LOGISTIC‍) වැඩි අවබෝධයක් තිබී නැතැයි පැවසේ.

මෙහි ඊළඟ ප‍්‍රශ්නය වන්නේ සුදුලූනු විකිණීම සඳහා මිල ගණන් කැඳවන ලද්දේ කවරෙක්ද යන්නය. මිල ගණන් කැඳවා ඇත්තේ ප‍්‍රසම්පාදන අංශය සහ සැපයුම් අංශය මගිනි. ආර්. එස්. ප‍්‍රනාන්දු මහතා විසින් මිල ගණන් 03ක් ඉදිරිපත් කළ අතර සියලූදෙනාම තීරණය කර තිබුණේ වැඩිම මිලට සුදුලූනු අලෙවි කිරීමටය. කිසියම් මූල්‍ය අවභාවිතයක් සිදුවී ඇත්නම් මිල ගණන් කැඳවූ අය ද එයට වගකිව යුතුය. සුසිරි පෙරේරා අඩු මිලට සුදුලූනු අලෙවි කර ඇති බව පොලිසියට පෙනීගියත් මිල ගණන් නියම කළ අය ගැන පෙනීගොස් නැත. මිල ගණන් කැඳවීම පිළිබඳව සුසිරි පෙරේරාට

වගකීමක් නැති බවද පෙනීගොස් ඇත. දුරකථන දත්ත විමර්ශනය කළහොත් මෙහි තවත් පිරිස් කොටුකර ගත හැක. මේ ආකාරයෙන් බලන විට මේ වංචාව සම්බන්ධයෙන් ද නිවැරැුදි පරීක්‍ෂණයක් මෙතෙක් සිදුව නැති බව ප‍්‍රකාශ කළ හැකිය. සතොස රාජ්‍ය ආයතනයක් වුවද නීතිය හමුවේ මෙය රාජ්‍ය ආයතනයක් නොවේ. මෙහි සිදුවන වංචා, දූෂණ පොදු දේපළ ගණයට වැටෙන්නේ නැත. එයින් ගම්‍ය වන්නේ මේ වංචා දූෂණ සිදුකරන ඉහළ සිට පහළටම නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන බවක්ය. මේ සතොස භාණ්ඩ අඩු මිලට ගන්නේ ද මහජන මුදලින්ය. ඔවුන් ඒවා වැඩි මිලට පෞද්ගලික ආයතනවලට අලෙවි කර නැවත ඒවාම සතොසට ගෙන වැඩි මිලට අලෙවි කරන්නේ ද පාරිභෝගිකයාටය. මේ කුමනාකාරයෙන් බැලූවත් තැළී පොඩිවන්නේ

පාරිභෝගිකයාය. මෙහි දූෂණ, වංචා, නාස්ති නතරවන දිනයක් පේන්න නැත. මේවා වැළැක්වීමට මහජන මුදලින් නඩත්තුවන පිරිසක් සිටී. ඔවුන් සත පහක් හෝ හොරකම් කර තිබේනම් තමන් භුක්තිවිදින වරප‍්‍රසාද හා වරදාන අතහරින බව පවසති. නමුත් සත පහක් වංචා කර එහෙම අතහැරි අයෙක් නම් අපි අසා නැත. මෙය රටේ කරුමයක්ද? ජනතාවගේ කරුමයක් දැයි නොදනිමි.

නව රජය බලයට පත්කරගනු ලැබුවේ රාජ්‍ය ආයතන පද්ධතියට වියතුන් පත්කර වෙනසක් කිරීමටය. මේ බලයට ඒමේදී දුන් පොරොන්දුය. දිනෙන් දින සිදුවන දේ බැලීමේදී පත්කළ ඇතැම් වියතුන් ද විවිධ බලපෑම් නිසා සිය තනතුරු අතහැර තම ජීවිත ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ කරති.

එම නිසා මෙය පෙට්ටි කඩයක සිදුවූ හොරකමක් නොවන බවත් විධිමත් පරීක්‍ෂණයක් සිදුකර මේවාට සම්බන්ධ ඉහළ තැන් සොයාගෙන දඬුවම් ලබා දීම සිදුකළ යුතුයි. එතෙක් මේ ජාවාරම්කරුවන් ගොනා පිටුපස කරත්ත රෝද එනවා මෙන් තව දුරටත් කි‍්‍රයාකරනු ඇත. එහි ප‍්‍රතිඵලය ලෙස තවත් තුෂාන් ගුණවර්ධනලා වැනි අය ඉවත් වනවා ඇත.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

advertistmentadvertistment
advertistmentadvertistment