පලස්තීන – ඊශ්‍රායල යුද්ධය පටන් ගත්තේ කවුද යන්න නොව දැන් ඇති ලොකුම ප්‍රශ්නය මේ ගැටුම නවතා ගන්නේ කෙසේද යන්නයි. යුද්ධය නිසා වැනසෙන ජීවිත සම්බන්ධ අනුවේදනීය පුවත් හා දසුන් ලොව පුරා ජනතාව නරඹන්නේ කම්පිත හදවත්වලිනි. මේ අතර පසුගිය 6 වැනිදා ඊශ්‍රායල අත්අඩංගුවට පත් යෞවනියක් ලෝකයේ අවධානය දිනාගැනීමට සමත් වූවාය. පලස්තීන සටන්කරුවන් අතර ජාත්‍යන්තර වශයෙන් ඉහළින්ම කැපීපෙනෙන තාරකාවක් වූ ඕ පලස්තීනයේ අහෙඩ් ටමිමි (Ahed Tamimi) නමැති තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන යුවතියකි.

අහෙඩ්ගේ පියා බාසෙම් ටමිමි ද එරට කැපීපෙනෙන ඊශ්‍රායල විරෝධියෙකි. ඔහු 2021 වසරේ ජෙරුසලමේ අවන්හලක ඇමෙරිකානුවන් දෙදෙනකු ඇතුළු 12ක් පමණ මරාදමමින් සිදුකෙරුණු බෝම්බ පිපිරීමට සහාය වූ අහ්ලම් ටමිමිගේ ඥාති සොහොයුරෙකි. මෙවන් කරුණු නිසා අහෙඩ්ටත් ඇගේ පවුලේ අයටත් බියගැන්වීම්, නිවාස කඩාබිඳ දැමීම්, මුරපළවල්, රඳවා තබා ගැනීම්, ප්‍රචණ්ඩත්වයට බඳුන්වීම වැනි දේ ඉතා සාමාන්‍ය දේවල්ය. ඔවුන්ගේ නිවස හමුදා වැටලීම්වලට ඉතා හුරුපුරුදුය. අහෙඩ් බහ තේරුවේ ද එවන් පසුබිමකය.

අහෙඩ් කෙරෙහි පලස්තීනුවන්ගේ අවධානය පළමුවෙන්ම යොමු කෙරුණේ ඇය යන්තම් එකොළොස් හැවිරිදි දැරියකව සිටියදීය. ඒ ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඇගේ මව වන නරිමාන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඊට එරෙහිව ඇය විරෝධය පළ කළ අවස්ථාවයි. ඇය ඒ හේතුවෙන් පලස්තීන ජනපති මහමුද් අබ්බාස්ගේ ද නොමඳ පැසසුමට ලක්වූවාය. මේ දැරිය කාගේ කවුදැයි අනාවරණය වූ පසු ඇය ඊශ්‍රායල හමුදාවන්ගේ තර්ජනයට ලක්වීමට පටන්ගත් බව ඇගේ පියා පවසයි. එනිසා ආරක්ෂාව පිණිස ඇය රාමල්ලා නුවර ඥාතියකුගේ නිවෙසක නතර කරනු ලැබ ඇත. ඒ ඇගේ ඉගෙනුම් කටයුතු සඳහා ඊශ්‍රායල් මුරකාවල් හරහා යෑමට සිදු නොවනු පිණිසයි.

අහෙඩ් ටමිමි වෙත ජාත්‍යන්තර වශයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූවේ ඇය ඊශ්‍රායල සෙබළෙකුට මිට මොළවා පහර එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගිනි. ඇය එසේ ප්‍රතිරෝධය දක්වා තිබුණේ ඇගේ වැඩිමහල් සොයුරා අත්අඩංගුවට ගනු ලැබූ හමුදාභටයාටයි. අහෙඩ්ගේ මුෂ්ටි ප්‍රහාරය ලෝකයටම ඇසුණු බව මාධ්‍යවල පළවෙද්දී තුර්කියේ අග්‍රාමාත්‍ය රෙසෙප් තායිප් එඩෝගන් ඇයට තුර්කියට එන්නැයි ඇරයුම් කර තිබුණි.

ඊශ්‍රායල සොල්දාදුවන්ගේ කනට ගසන පලස්තීනයේ යකඩ කෙල්ල

මේ සිද්ධියෙන් වසර 3කට පසු අහෙඩ් යළි ජාත්‍යන්තර අවධානයට ලක්වූවාය. ගල්කැට විසිකරමින් සිටි ඇගේ බාල සොහොයුරා වෙස්මුහුණු දාගත් ඊශ්‍රායල සොල්දාදුවකු විසින් රැගෙන යෑමට තැත් කරද්දී මේ නිර්භීත දැරිය ඔහුට අතින් පයින් පහර දෙමින් හා හපා කමින් ඊට එරෙහිව සටන් කර ඇත. කවරකු හෝ විසින් එම අවස්ථාව වීඩියෝ කර සමාජ මාධ්‍යයට නිදහස් කර තිබුණි. එය ලොව පුරා ප්‍රචලිත වීමට ගතවූයේ ඉතා කෙටි කාලයකි.

2016 වසරේදී දරුවන්ගේ නිදහස වෙනුවෙන් No child behind Bars/ Living Resistance මැයෙන් දේශනයක් පැවැත්වීමට ඇමෙරිකාවට යෑමට ඇරයුම් ලැබුණ ද ඇමෙරිකාව අහෙඩ්ගේ වීසා අයැදුම ප්‍රතික්ෂේප කර ඇත.

2017 වසර මේ සටන්කාමී නව යෞවනියගේ තවත් පෙරළිකාර වසරක් බව පෙනේ. එම වසරේ දෙසැම්බරයේ ඇගේ ගම වූ නබි සාලිහ් අසල පැවැත්වුණු විරෝධතා පෙළපාලියකට සහභාගි වූවාය. ඒ ඊශ්‍රායලය පලස්තීන භූමියට අයිතිවාසිකම් පාමින් කරන ඉදිකිරීම් ආදියට එරෙහිව කරන ලද්දකි. එහිදී පලස්තීනුවන් 200ක පමණ පිරිසක් එක්ව ඊශ්‍රායල භටයන්ට ගල් ප්‍රහාර එල්ල කිරීම නිසා ඇති වූයේ ප්‍රචණ්ඩ තත්ත්වයකි. නිවස තුළ සිට ගල් ගැසුවේ යැයි සොල්දාදුවෝ අහෙඩ්ගේ නිවසට ඇතුළු වූහ. ඇගේ ඥාති සොහොයුරකු වූ පසළොස් හැවිරිදි මොහොමඩ් ටමිමිට බරපතළ ලෙස තුවාල සිදු විය. කුපිත වූ අහෙඩ් ඇගේ මව නරිමාන් හා ඥාති සොයුරිය නෝර් ගෙයින් පිටතට විත් සෙබළුන්ට තඩිබාන්නටත් ඔවුන් තල්ලුකර දමන්නටත් පටන් ගත්හ. ඊශ්‍රායල සෙබළුන්ට කිසිවක් කරකියා ගන්නට නොහැකි තරමට මේ පහරදීම් බලවත් විය. ඔවුහු ප්‍රතිප්‍රහාර නොදීම පසුබා ගියහ.

ඊශ්‍රායල සොල්දාදුවන්ගේ කනට ගසන පලස්තීනයේ යකඩ කෙල්ල

මොහොමඩ්ගේ සිරුරට ඇතුළුවී තිබුණේ ඉතා ආසන්න දුරක සිට තබන ලද වෙඩිල්ලකින් නිකුත් වූ රබර් ආලේපිත වානේ උණ්ඩයකි. වෛද්‍යවරු ඔහු කෝමා තත්ත්වයට පත්කර ප්‍රතිකාර කර තිබුණි. නරිමාන් මේ සිද්ධිය සහසුද්දෙන් දැක්වෙන වීඩියෝ පට ඇගේ මුහුණුපොතේ පළ කළාය. ඒවා ඊට වඩා වේගයෙන් ලොව පුරා සංසරණය වෙන්නට පටන් ගත්තේය. ගිණිය නොහැකි තරම් ප්‍රතිචාර ප්‍රමාණයක් ඒවාට එක් වූයේ ඊශ්‍රායලයට අප්‍රසාදය පළකරමිනි.

දින කිහිපයකට පසු රාත්‍රියේ කළ වැටලීමකින් අහෙඩ් අත්අඩංගුවට පත් විය. ඇය බාල වයස්කාරියක වීම නිසා ඒ පිළිබඳ හැම පැත්තෙන්ම මතභේද ඇති වුව ද දින 13කට පසු ඇයට විරුද්ධ චෝදනා ප්‍රකාශයට පත් කෙරිණි. ඒ සමගම නෝර් ද වීඩියෝව පළ කළාට නරිමාන් ද අත්අඩංගුවට ගැනුණි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පවා එරෙහි වුවත් අහෙඩ්ට ඩොලර් 1437ක දඩයක් හා මාස 8ක සිර දඬුවමක් නියම විය.

ප්‍රකෝපකාරී වීමට උසිගැන්වීම, සොල්දාදුවන්ට පහරදීම හා ගල් ගැසීම ඇයට එල්ලවූ ප්‍රධාන චෝදනාවන්ය. දෙපිරිසම සංයමයෙන් කටයුතු කළ යුතු බවට ලෝකයේ විවාදයක් ඇති විය. අහෙඩ්ට සහායට උතුරු ඇමෙරිකාවේ හා යුරෝපයේ රැළි පැවැත්විණි. ඒවා හමුවේ ඇයට නිදහස ලැබුණේ මාස 7ක්ම ගෙවුණු පසුවයි. සිරගෙදරදී අහෙඩ් සිය උසස් පාසලේ උපාධිය ද ලබා ගත්තාය. ඇයට ගරු කිරීමක් වශයෙන් පලස්තීනය ඊශ්‍රායලයෙන් වෙන් කෙරෙන තාප්පයේ ඉතාලි කලාකරුවන් දෙදෙනෙක් ඇගේ රුව සිත්තම් කළෝය. ඊශ්‍රායලය කළේ ඒ දෙදෙනා අත්අඩංගුවට ගෙන රටින් පිටවීමට බලකිරීමයි.

ඊශ්‍රායල සොල්දාදුවන්ගේ කනට ගසන පලස්තීනයේ යකඩ කෙල්ල

නබි සාලිහ්හිදී නොවැ. 06 වැනිදා අහෙඩ් යළි අත්අඩංගුවට පත්වීම ලෝකයේ ඇස ඇය වෙත නැවත යොමුවීමට ආසන්නතම හේතුවයි. ඊශ්‍රායල සොල්දාදුවන් ‘ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදී ක්‍රියා ඇවිලවීම’ යන සැකය මත ඇගේ නිවස ද සෝදිසි කර එහි තිබූ ජංගම දුරකථන ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

මේ සිද්ධීන්ට සතියකට පෙර අහෙඩ්ගේ පියා ද ඊශ්‍රායල් අත්අඩංගුවට පත්ව ඇත.

බටහිර ඉවුරේ ජනාවාස ගොඩනඟමින් කරන වාසභූමිය පුළුල් කිරීමේ ඊශ්‍රායල ක්‍රියාකාරකම්වලට එරෙහි පලස්තීන සංකේතය ලෙස ඇතැමුන් අහෙඩ් ටමිමි නම් කරයි. 2012 වසරේ ටමිමි පවුල පිළිබඳ වාර්තාමය වැඩසටහනක් කිරීමට ගිය මාධ්‍යවේදී බෙන් එහ්රෙන්රීච් ඇය සෙසු පලස්තීනුවන්ගෙන් වෙනස්ව යුරෝපීය හෝ ඇමෙරිකානු දැරියකගේ පෙනුමෙන් යුතුවීම අවධානය දිනා ගැනීමට සඳහා වාසිසහගත වන බව පවසයි. ඊශ්‍රායලයේ ඇතැමුන් පවසන්නේ ඇගේ ඇඳුම් ඇමෙරිකානු ඌරුවට ඇත්තේ තම සොල්දාදුවන් කුපිත කරවීමට බවයි. ඔවුන් ටමිමි පවුල ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඇති අතර ඇගේ ක්‍රියා තම රට අපකීර්තියට ලක්කිරීමේ අරමුණින් වේදිකාගත කරන ප්‍රසංගයක් සේ සලකයි. මේ අතර ඇතැම් පලස්තීනුවන් පෙන්වා දෙන්නේ ඇය ඉදිරියේ ඊශ්‍රයල සෙබළුන් අකර්මණ්‍ය බව වීඩියෝවල දැක්වීම තමනට අවාසිසහගත බවයි. මෝෂේ දයාන්ගේ බෑණා කෙනකු හා කවියකු වන ගිෆෙන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලියූ කවියක් ඊශ්‍රායලය විසින් තහනම් කෙරිණි. අහෙඩ් සෙබළෙකුගේ කනට ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් වූ එය ගිෆෙන් රතු ඉර පැනීමක් සේ එරට ආරක්ෂක ඇමැතිවරයා පවසා තිබුණු අතර මේ පිළිබඳ ගිෆෙන් සමාව ඉල්ලුව ද එය තම ගිණුමෙන් ඉවත් කර ගෙන නොතිබුණි.

දීපිකා ප්‍රියදර්ශනී

advertistmentadvertistment
advertistmentadvertistment