කුරුණෑගල රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්

356

තවත් 4ක් හිරේට

වැරදිකරුවෝ කෝටි ගණන් වන්දි හා දඩ ඒ මොහොතේ ම ගෙවති

කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (14දා) නියම කළේය.

සිර දඬුවමට අමතරව රාජසභා මණ්ඩපයට කළ අලාභහානිය වෙනුවෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමට ද ඔවුන්ට නියම කළේය.

රාජසභා මණ්ඩලපයට කළ හානිය වෙනුවෙන් ගෙවීමට නියම කළ රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ පනස් දහසක මුදල කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඒ අවස්ථාවේදීම ගෙව්වේය. ඔවුහු තමන්ට නියම කළ දඩ මුදල් ද අවස්ථාවේදීම ගෙවූහ.

කුරුණෑගල රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්

මෙය ලංකාවේ පෞරාණික ස්ථානයක් බව දැන දැනම මෙයට අලාභහානි කිරීම සුළුවෙන් තැකිය නොහැකි හෙයින් විත්තිකරුවන්ට උපරිම දඬුවම් නියම කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගනිමින් විත්කරුවන්ට මෙලෙස දඬුවම් නියම කෙරිණි.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ, හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, හිටපු නාගරික ඉන්ජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, හිටපු වැඩ පරීක්ෂක ඉලාලුදීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ප්‍රියන්ත නමැත්තන්ටය.

ඒ. ජේ. ඒ. අබේනායක, ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment