රාජ්‍ය ආයෝජන 77%ක් ගිණුම්ගත වෙලා නෑ

76

රාජ්‍ය ආයෝජන වශයෙන් ඉකුත් වසර 17 දී රුපියල් බිලියන 9,213ක මුදලක් වැය කර ඇතත් ඉන් රුපියල් බිලියන 7,120ක් හෙවත් සියයට 77ක් වටිනා වත්කම් හඳුනා ගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

2006 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රාජ්‍ය ආයෝජන වශයෙන් රුපියල් බිලියන 9,213ක මුදලක් භෞතික වත්කම් ඉදිකිරීම, මිලදී ගැනීම හා වෙනත් ආයෝජන අත්පත් කර ගැනීම සඳහා වැය කර තිබුණි. මින් බිලියන 7,120ක් හෙවත් සියයට 77ක් වටිනා වත්කම් හඳුනා ගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ දී මින් මූල්‍ය නොවන වත්කම් ලෙස රුපියල් බිලියන 2,093ක මුදලක් වත්කම් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර තිබුණි. 2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාල පරාසයේ දී මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය නොවන වත්කම් හඳුනා ගෙන ගිණුම්ගත කර නොතිබුණි. මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීම ආරම්භකොට තිබුණේ 2015 වර්ෂයේ සිටය. විධිමත් සැලසුම්සහගතව රාජ්‍ය ආයෝජන සිදුකිරීමට කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

2022 වර්ෂයේ දී රාජ්‍ය ආයෝජන වශයෙන් උපයෝජනය කොට ඇති මුදල රුපියල් බිලියන 1014 කි. මේ පිළිබඳ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ රජයට අයත් සියලුම මූල්‍ය නොවන වත්කම් හඳුනා ගෙන ගිණුම්ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකර ගෙන යන බවය. රාජ්‍ය මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment