අලුත් අවුරුදු සුබ පැතුම්

1003

මව්බිම යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගනිමු -ජනපති

‘අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජයගන්නට 2024 වසරේදී අදිටන් කර ගනිමු’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙහි දැක්වේ. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

2024 නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්‍ෂාව හදැතිවය. දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇදවැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය.

පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකිවිණි. නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මඟෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි. මෙහිදී සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනාගැනීම අප සතු කාර්යයකි.

ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වීලු. එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමගින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.

ජනතා අභිලාෂයන් ඉටුකරගත හැකි වේවා -විපක්‍ෂ නායක

අලුත් අවුරුදු සුබ පැතුම්

රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වෙන 2024 තුළ හෝ ජනතා අභිලාෂයන් ඉටුකර ගැනීමට හැකිවේවා යැයි පතන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම නව අවුරුදු පණිවුඩයෙන් පවසයි.

එහි මෙසේද දැක්වේ.

ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතළ අවදානම් රැසකට රට මුහුණදී ඇති මේ මොහොතේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට පවා අසාමන්‍ය ලෙස අභියෝග රාශියක් පැමිණ තිබේ. කෘෂිකර්මාන්තය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථික රටාව වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී තිබේ.

මේ එළැඹෙන නව වසර ශ්‍රී ලාංකික අපට තීරණාත්මක වර්ෂයකි. එය රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත වර්ෂයකි. එබැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල සාමකාමීව භුක්ති විඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගනිමින් ජාතික අපේක්‍ෂා සම්පූර්ණ කර ගැනීමට සියලු දෙනාම එකට එක්වන ලෙස ඉල්ලා සිටිමි. මේ නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටුකර ගැනීමට හැකියාව ලැබේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment