දප්පුලගෙන් ප්‍රශ්න කිරීම වැළැක්වූ අතුරු තහනම 22 දා තෙක් දීර්ඝ කෙරේ

82

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවීම, ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කිරීම හා අත්අඩංගුවට ගැනීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 22 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10දා) නියෝග කළේය.

දප්පුල ද ලිවේරා මහතා විසින් තම අධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු දෙපාර්ශ්වයට වැඩිදුරටත් නියෝග කළහ.

පාස්කු ප්‍රහාර මාලාව මහා කුමන්ත්‍රණයක් බවට එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක් සමග පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීම සඳහා පෙනී සිටින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා දෙකකදී හටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දී තිබිණි. එලෙස කැඳවා තිබූ පළමු දිනයේදීම ඒ සම්බන්ධයෙන් සිය නීතිඥවරයකු මගින් පිටු හයකින් සමන්විත විරෝධතාවක් ලිඛිතව යොමු කර තිබූ හිටපු නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටියේය. ඉන්පසු යළිත් ඔහු කැඳවා තිබූ අතර ඒ පිළිබඳව හෙතෙම ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීම වළක්වමින් ඊයේ (10 දා) දක්වා බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, ටිරාන් ඇන්කටල් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment