‘වැට් ගහලා රටම ෆ්ලැට්’ විරෝධයට කඳුළු ගෑස් ගැහුවා මූලික අයිතිවාසිකම් කැඩුවා

79

රංජිත් මද්දුම බණ්ඩාර – මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයට යති

රජය විසින් පැනවූ වැට් බදු අය කිරීම් ඇතුළු ක්‍රියාවලට විරෝධතාව දැක්වීම සඳහා තම පක්‍ෂය විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පොලිසිය සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නිගමනය කරන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජිබර් රහුමාන් යන මහත්වරු ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

“වැට් ගහලා රටම ප්ලැට්” යනාදී විරෝධතා පුවරු ඇතැතිව පසුගිය ජනවාරි 30 වැනිදා සාමකාමී අයුරින් තමන් ඇතුළු පක්‍ෂයේ ක්‍රියාකාරීන් හා සාමාජිකයන් එක්ව පැවැත්වූ එම විරෝධතාවට පොලිසිය ඉතා අමානුෂික ලෙස කඳුළුගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර මැඬපැවැත්වීමේදී විශාල පිරිසක් තුවාල ලැබූ බවත් තවත් පිරිසකට රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවත් නීතිඥ සම්පත් විජේවර්ධන මහතා මගින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙත්සම්කරුවෝ අධිකරණයට පැවැසූහ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටුව, කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම් කර ඇත.

පොලිසියේ මෙකී ක්‍රියාකලාපය අයුක්ති සහගත හා මර්දනකාරී බවත් ඉන් තමන් ඇතුළු රටේ පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment