පොලිස්පති පත්කිරීමේදී කථානායක අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

98

නීතිය ක්‍රියාත්මක නොවීමෙන් ආඥාදායකත්වයක් ඇතිවිය හැකියි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පති පත් කිරීම අනුමත කළේද නැද්ද යනුවෙන් මාධ්‍ය හා සමාජය තුළ කතාවට ලක් වෙන බවත් කතානායකවරයා විසින් මාධ්‍යයට එය අනුමත වූවා යැයි පැවසුවත් වත්මන් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය කඩකර රටට බොරු සපයා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

පොලිස්පතිවරයාගේ නම යෝජනා කිරීම එදා දවසේ න්‍යාය පත්‍රයේවත් නොතිබූ බවත් එදින උදේ 11.30ට ව්‍යවස්ථාදායක සභාව පැවැත්විය යුතු අතර 9.50ට පොලිස්පති පත් කිරීමේ එම යෝජනාව පැමිණි බවත් එහි දී ඡන්දයක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ අගමැති, නිමල් සිරිපාල, සාගර කාරියවසම් සහ සිවිල් සාමාජික අනුලා මහත්මිය පක්ෂව ඡන්දය ලබා දුන් බවත් තමා සහ විදේශ ගතව සිටි කබීර් හෂීම් මහතා සූම් තාක්ෂණයෙන් සහභාගී වී විරුද්ධ වූ බවත් තවත් සිවිල් සාමාජිකයන් 2 ඡන්දය නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයාට ඡන්දය දිය හැක්කේ තීරක ඡන්දයක් බවත් එය පක්ෂව හා විපක්ෂව ඡන්ද 4, 4 තිබුණහොත් පමණක් වුවත් කතානායකවරයා ඡන්දය නොදී වැළකී සිටි දෙදෙනාද ගණන් ගෙන තීරක ඡන්දය භාවිත කර ඇති බවත් එය වැරදි බවත් ඔහු අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක නොවේ නම් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී ඒකාධිපතීත්වයක් ආඥාදායකත්වයක් ඇතිවිය හැකි බවත් මෙය භයංකාර තත්ත්වයක් බවත් ව්‍යවස්ථාදායක සභාවත් නීති උල්ලංඝනය කරනවා නම් රටේ ජනතාවත් නීති උල්ලංඝනය කිරීමට පෙළඹිය හැකි බවත් කතානායකවරයා රටටම විහිලු සපයමින් ජනතාව නොමග යවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කැකිරාව විද්‍යාර්ථ ජාතික පාසලට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 82 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා පාසැල් බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

තමාට අපහාස කරනවා වගේම ඔවුන් ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් මෙම වැඩසටහන අසාර්ථක බවට ප්‍රාචාරය කරමින් සිටින බවත් මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ කුහකකම බවත් ඔවුන් ඇතිහැකි නැතිබැරි පරතරය අඩු වීමට අකමැති බවත් මෙවැනි කුහක පහත් අදහස් බංකොලොත් රටෙන් ඉවත් කළ යුතු බවත් ඒ තුළින් රටට කිසිදු අනාගතයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment