පුතා ඇද්ද විදුලි රැහැනේ පැටලී අම්මා ජීවිතක්ෂයට

366

හතරලියද්ද පොලිස් බලප්‍රදේශයේ රදගමුව ග්‍රාම නිලධාරි වසමේ ඉඩමක අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී හැටහය (66) හැවිරිදි සිව්දරු මවක් ඊයේ (25) පස්වරුවේ එම ස්ථානයයේදී ම මියගොස් ඇතැයි හතරලියද්ද පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ විදුලි රැහැන අදින ලද පුද්ගල යාගේ මෑණියන් වන යූ, එම්, නන්දාවතී (66) නමැති සිව් දරු මවයි.

ඇය දර කැඩීම පිණිස ඉඩමට ඇතුළු වී ඇති බවත් එම අවස්ථාවේ විදුලි රැහැනේ පැටලී එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ස්ථාන පරීක්ෂාවේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි. අනවසර විදුලි රැහැන ඇද ඇත්තේ මෙම මරණකාරියගේ වැඩිමහල් පුත්‍රයා වන එච්,ඇම්, ඉවෝන් පුෂ්පකුමාර (45) යන අයයි. ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ගලගෙදර මහෙස්ත්‍රාත් හර්ෂණ බී, රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.

හතරලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වීරකෝන්, පොලිස් සැරයන් 73419 ගයාන් යන අය විමර්ශන කටයුතු සිදු කළහ.
හතරලියද්ද – කිත්සිරි බණ්ඩාර සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment