පරන්තන් මාර්ගයේ වී වේලමින් සිටි ගොවියා බසයකට යටවී මරුට

97

කිළිනොච්චි පරන්තන් මාර්ගයේ කදවල ප්‍රදේශයේ මහා මාර්ගයේ වී වේලමින් සිටි පුද්ගලයෙකු බස් රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

ඔහු අත් ට්‍රැක්ටරයකින් ගෙනා වී තොගයක් මහ පාරේ හලමින් සිටියදී ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

අනතුරට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර ඔහුගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

මෙසේ මියගොස් ඇත්තේ කතිරවේලු‍ යාදවරාසා නැමති 58 හැවිරිදි දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වන අතර මාර්ගයේ වී වේලමින් සිටි තවත් පුද්ගලයෙකු මීට දින කීපයකට ඉහතදී මේ ප්‍රදේශයේදීම මියගොස් තිබුණි.

උතුරේ ගොවීන්ගේ මේ දිනවල අස්වැන්න නෙලමින් සිටින අතර වී තොග වර්ෂාවට හසුවීම නිසා ඔවුන් එම වී තොග මහ පාරේ දමා වියලා ගැනීමට පුරුදුව සිටීම නිසා මාර්ගයේ ඉඩකඩ ඇහිරීමෙන් අනතුරු සිදුවන්නට පටන් ගෙන තිබේ.

මේ ප්‍රදේශ වල ගොවීන්ට වර්ෂාවට හසුවන වී තොග වියලා ගැනීම සඳහා කමත් නොමැතිකම විශාල අඩුපාඩුවක් වී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment