වඩාත්ම සුදුසු ඉලක්ක ලබාගැනීම නීතියේ අරමුණ නොවේ

265

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ යළි හිස එසවීම, ‘වෙනස’ සදාකාලික නොවන බව ලොවට මතක්කර දීමකි. හිටපු ජනාධිපති ට්‍රම්ප් මේ වන විට එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් මුහුණදෙන ආර්ථික දුෂ්කරතා ආමන්ත්‍රණය කරමින්, ඔවුන්ගේ දුක්ගැනවිලි උපයෝගි කර ගනිමින්, සමාජයේ තම ස්ථාවරය පවත්වා ගැනීමට එක්සත් විය යුතු බවට තර්ක කරමින් සිටී. එමගින් ඔහු ඔවුන්ගේ ශූරයා ලෙස ඉදිරියට එමින් සිටී. “සදාකාලික සුපරීක්ෂාකාරිත්වය යනු නිදහසේ මිලයි” යන කියමන බොහෝ විට එක්සත් ජනපදයේ නිර්මාතෘවරුන් වන තෝමස් ජෙෆර්සන්, තෝමස් පේන්, ඒබ්‍රහම් ලින්කන් ඇතුළු තවත් බොහෝ අය වෙත ආරෝපණය කර ඇත. 1790 දී අයර්ලන්ත දේශකයකු වූ ජෝන් ෆිල්පොට් කරන්ගේ ප්‍රකාශයකින් මෙම වාක්‍ය ඛණ්ඩය ආරම්භ වූ බව ‘ද රෝඩ් ටු ජස්ටිස්’ (1988) හි ඩෙනින් සාමිවරයා ප්‍රකාශ කරයි.

වාර්ගික සහ ආගමික අනන්‍යතා යනු ලොව පුරා මිනිසුන් බලමුළු ගැන්විය හැකි ප්‍රබල සංකල්ප දෙකකි. මෙය බටහිර යුරෝපයේ සියවස් ගණනාවක ලෞකික පිළිවෙත් හේතුවෙන්, රාජ්‍යයන් තුළ ජනවාර්ගික හා ආගම් අතර මධ්‍යස්ථ බව නිර්මාණය වීම නිසා පහව ගිය බව පෙනෙන්නට තිබිණි. පසුගිය වසරේ අරගල සමයේ කෙටි කලකට, ජනගහණයෙන් විශාල කොටසක් නැවත දරිද්‍රතාවයට ඇද දැමූ අනපේක්ෂිත ආර්ථික ව්‍යසනය හමුවේ, ශ්‍රී ලංකාව වාර්ගික හා ආගමික භේදයන් ඉක්මවා යන බවක් පෙනෙන්නට තිබුණේය. විශේෂයෙන්ම වීථි මට්ටමින් පෙර නොවූ විරූ එකමුතුවක් නිර්මාණය වී, රට මෙම කනගාටුදායක තත්ත්වයට ගෙන ආ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට විය. ඒ අනුව එම ආණ්ඩුවේ නායකයන් බලයෙන් එළවා දැමීමට, ජන බලයේ ප්‍රබල බලවේග සමත් විය. දවසින් දවස, ගෙවීමට සිදුවන මිල ඉහළ යමින් පවතින නිසා, ජනතාව තුළ විශේෂයෙන්ම තරුණ පරම්පරාව තුළ ඇති එකමුතුකම සහ අන්‍යොන්‍ය ගෞරවය කරළියට ගෙන එන ආණ්ඩුවක් අනාගතයේදී ඇති වේ යැයි බලාපොරොත්තු විය යුතුය.

එහෙත් මැඩගත නොහැකි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්, පැරණි භාවිතාවන් නැවත ඉස්මතුවීමට සටන් කරයි. වාර්ගිකත්වය සහ ආගම අනතුරේ යන ‘වාචාල කතා’ යළිත් මතුවෙමින් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අවශ්‍ය පරිදි සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර, දෙමළ සහ මුස්ලිම් වාර්ගික බහුතරයන් සිටින පළාත්වල ජනතාවට බලය බෙදීම භුක්තිවිඳීමට හැකිවන බව පසුගිය වසරේ අගභාගයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ නමුත්, මෙම පොරොන්දුව සම්බන්ධයෙන් දැන් පවතින්නේ නිහඬතාවකි. ජනාධිපතිවරයා නව ආර්ථික දැක්මක් සපයන පැරණි වැඩපිළිවෙළ, පැහැදිලිවම වාර්ගික – ආගමික කාරණා සම්බන්ධයෙන් ඉදිරි ගමනක් නොපවතින්නකි. මේ හේතුවෙන් යුද්ධයේ නොවිසඳුණු මානව හිමිකම් ගැටලු විසඳීම සඳහා 2015 වසරේ අන්තර්ජාතික ප්‍රජාවට පොරොන්දු වූ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමේ රජයේ නිර්භීත සැලැස්ම ‘ගල් ගැසී’ ඇතැයි වාර්තා වේ. සැබෑ බලය බෙදාහැරීමක් සිදු නොකළහොත්, එවැනි යාන්ත්‍රණයක් නීත්‍යානුකූලභාවයට පත්කිරීමට සහාය නොදෙන බවත්, එසේම එවැන්නක් පිළිනොගන්නා බවත් ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ ප්‍රකාශ කර ඇත. දේශපාලනය ප්‍රතිපත්ති ඉක්මවා නොයා යුතුය.

විවිධ සහ බහුවිධ ශ්‍රී ලාංකීය ජාතිය සමන්විත වන විවිධ ප්‍රජාවන් අතර ගැටුම් නිරාකරණය කිරීමේ ඉදිරි ගමන සඳහා වාර්ගිකත්වයට සහ ආගමට තර්ජනයක් නිර්මාණය වීමේ හැඟීම නැවත වරක් විශාල ලෙස මතු වී තිබේ. හැඟීම්බර වාර්ගික – ආගමික කුණාටුවක කේන්ද්‍රස්ථාන ලෙස අපේක්ෂා කළ නොහැකි පුද්ගලයෝ දෙදෙනෙක් දැන් පෙනී සිටිති. එක් අයෙක් ප්‍රහසන ශිල්පිනියක වන අතර අනෙක් පුද්ගලයා ආගමික දේශකයෙකි. ඔවුන් දෙදෙනාම වාර්ගික – ආගමික සිංහල බෞද්ධ බහුතර ප්‍රජාවේ බොහෝ දෙනකුගේ ආගමික හැඟීම් රිදවා ඇත. ඔවුන්ගේ ප්‍රකාශ දෙකම මුලින් කුඩා ප්‍රේක්ෂක කොටසක් වෙත ගමන් කළ නමුත්, පසුව විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත සමාජ මාධ්‍ය හරහා ප්‍රක්ෂේපණය කරන ලදී. ප්‍රශ්නය වන්නේ ඔවුන් මෙම ප්‍රකාශ සිදුකරන ලද්දේ ආගමික වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමටද යන්නයි. කෙසේ වෙතත් භේදය සෑම පැත්තකින්ම වර්ධනය වන අතර වාර්ගික, ආගමික හෝ දේශපාලනික වේවා, ඔවුන්ගේ ප්‍රකාශයන් හෙළාදකිමින් බොහෝ ප්‍රකාශ සිදුකෙරෙමින් තිබේ.

බෞද්ධ ජනතාවගේ ආගමික හැඟීම් රිදවීම සම්බන්ධයෙන් ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය සහ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු යන දෙදෙනාම සමාව අයැද සිටිති. ඔවුන් විසින් ඇති කර තිබෙන වේදනාව, කෝපය සහ විරුද්ධත්වය අවබෝධ වූ විට ඔවුහු තත්ත්වයට පිළියම් යෙදීමට උත්සාහ කළහ. එක් වාර්ගික – ආගමික ප්‍රජාවක සාමාජිකයන් විසින් තවත් වාර්ගික – ආගමික ප්‍රජාවක සාමාජිකයන්ට එරෙහිව මෙවැනි රිදවන සහ අපහාසාත්මක අදහස් පළකළ පළමු අවස්ථාව මෙය නොවේ. මේ කාරණයෙන් ප්‍රයෝජන ගනිමින් ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනයට මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පාලනයට ද කටයුතු කරමින් සිටී. ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට මෙන්ම මහජන සාමය හෝ ජාතීන් සහ ආගම් අතර කිසියම් ගැටුමක් ඇති කිරීමට තුඩුදෙන අයහපත් බලපෑම් විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් සිදු කළහොත් මාධ්‍යවේදීන් සිරගත කිරීමට, දඩ ගැසීමට සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කර ඇති බලපත්‍ර අවලංගු කිරීමට ද මාර්ගය සලසන විකාශන නියාමන කොමිෂන් සභාවක් සඳහා නීති ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වේ.

වඩාත්ම සුදුසු ඉලක්ක ලබාගැනීම

“ඇය අරගලය විරෝධතාවයේ සිටි තැනැත්තියක බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයෙන් සොයා බලන බව පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව” රජයේ මාධ්‍ය වාර්තා කළේය. මෙමගින් ඇය අත්අඩංගුවට ගැනීමට හේතුව දේශපාලන බලපෑමක් බවට නිගමනය කරයි. ප්‍රහසන ශිල්පිනි එදිරිසූරියට ICCPR හි වෛරී ප්‍රකාශ තහනම් කරන 3(1) වගන්තියේ ප්‍රතිපාදන උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය. ICCPR පනතේ 3(1) වගන්තිය ඔස්සේ වෙනස් කොට සැළකීමට, ප්‍රචණ්ඩත්වයට හෝ සතුරුකමට උසිගැන්වීමක් වන වෛරය වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරයි. නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් අන්තර්ජාතික මානව හිමිකම් නිරීක්ෂණ ආයතනයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පෙන්වා දී ඇත්තේ, වෛරී ප්‍රකාශය යන පදනම මත කථනය නීති විරෝධී වීමට නම් එය “අන්‍යයන්ට වෙනස් කොට සැලකීමට පොළඹවාලීමේ පැහැදිලි චේතනාවක් අවශ්‍ය වන අතර, ඔහු හෝ ඇය සතුරු හෝ අදාළ කණ්ඩායමට එරෙහිව ප්‍රචණ්ඩත්වය සිදු කළයුතුය.” යනුවෙනි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැඩිදුරටත් සඳහන් කරන්නේ, “ප්‍රකාශනය පරීක්ෂණයට මුහුණදීමට අපොහොසත් වූ විට, එය කම්පන සහගත, ආක්‍රමණශීලී හෝ කලබලකාරී වුවද, එය රාජ්‍යය විසින් ආරක්ෂා කළ යුතුය.” යනුවෙනි.

හාස්‍යයට කරුණක් නම්, වාර්ගික හා ආගමික සුළුතරයන් වෛරීසහගත ලෙස ඉලක්ක කර, ඔවුන්ට එරෙහිව කෝලහාල පවා ඇති කළ අවස්ථා බොහෝමයක් ඇතත්, ඔවුන් ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ට පීඩාකරන්නන් අත්අඩංගුවට ගැනීමට අනුප්‍රාප්තික ආණ්ඩු අපොහොසත් වීමයි. බොහෝ විට මැතිවරණ පරිසරයන් තුළ දේශපාලන අරමුණු සඳහා, පටු ජාතිකවාදයට සහ අනෙකාට ඇති බියට භාවිත කිරීම හරහා ඇතැම් ජන කොටස් බලමුළු ගැන්වීමේ නිර්ලජ්ජිත උත්සාහයන් හරහා එවැනි ඉලක්ක කිරීම් සිදුවී ඇත.

නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට සහ විවේචනාත්මක අදහස් දැක්වීමට ඇති අවකාශය මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තුළ පිළිගත නොහැකිය. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කරදරකාරී ආර්ථිකයක් තුළ, ආර්ථිකය කඩා වැටී ජනතාවට බොහෝ දුක් විඳීමට සිදුවී ඇති අතර, මැතිවරණ පැවැත්වීම සඳහා වන ඉල්ලීම වර්ධනය වෙමින් පවතී. අත්අඩංගුවට ගැනීම සහ එහි තාර්කිකත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම, සංක්‍රමණයක් සහ සමතුලිතතාවයක් ලබාදීමට අදහස් කරන ආයතනවල ස්වාධීනත්වය අවසානයේ ජයගන්නා බවට බලාපොරොත්තු තැබිය හැකි ලකුණකි. තරගකාරී වාර්ගික, ආගමික සහ පක්ෂග්‍රාහී දේශපාලන දර්ශනයන් අතර රාජ්‍යය කුමක් විය යුතුද යන්න සහ එය තුළ පිළිගත හැකි හැසිරීම් මොනවාද යන්න පිළිබඳ මතභේදවල මධ්‍යස්ථ බේරුම්කරුවකු ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය පරිණාමය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විවිධ ආකාරවලින් සහ කෙටි කාලයක් තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලතල අත්පත් කර ගැනීමෙන් ආර්ථික පුනර්ජීවනයක් සහ රට අපේක්ෂා කරන ස්ථාවර සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබාදීමට අපහසුය. නිදහස, යුක්තිය සහ සාධාරණත්වය නොමැතිව, ජනාධිපති වික්‍රමසිංහ දැකීමට කැමති ආර්ථික සංවර්ධනයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබිය නොහැක.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment