වෙද පරපුරකින් බිහිවූ මහත්මා දේශපාලනයේ නොමැකෙන ලකුණ බාකීර් මාකර්

77

ප්‍රවීන දේශපාලනඥයකු මෙන්ම හිටපු කථානායකවරයෙකු වූ එම්. ඒ. බාකීර් මාකර් මහතාගේ 100 වන ජන්ම සංවත්සරය 2023 මැයි 12 වෙනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වෙද පෙළපතකට උරුමකම් කියන බාකීර් මාකර් මහතා 1017 මැයි 12 වෙනි දින බේරුවල මරදානේදී උපත ලැබීය. බේරුවල පිහිටි ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් බාලිකා විදුහලින් මුලකුරු කියූ ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කොළඹ සාන්ත සෙබස්තියන් විදුහලට ඇතුළත් විය. කොළඹ සහිරා විදුහලින් ද්විතීය අධ්‍යාපනය හදාරා 1939 දී නීති ශිෂ්‍යයෙකු වශයෙන් නීති විද්‍යාලයට ඇතුළත් වීමේ වරම් උදාකර ගත්තේය. 1949 වර්ෂයේදී නීතිඥයකු වශයෙන් දිවුරුම් දුන් බාකීර් මාකාර් මහතා පසුව කළුතර නීතිඥ සංගමයේ සභාපති ධුරයට පත්විය.

ලංකාවේ මුල් වරට පක්‍ෂ දේශපාලනය අනුව මැතිවරණයක් පැවැත්වූයේ 1947 අගෝස්තු මාසයේදීය. මේ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් මැද කොළඹ අසුන නියෝජනය කරමින් තරග වැදුණේ බාකීර් මාකාර් මහතාට ජීවිතයේ සෑම පිහිටටම සිටි ආචාර්ය ටී. බී. ජයා මහතාය. මේ වන විට බාකීර් මාකාර් මහතා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේය. එඩිතර තරුණයකු වශයෙන් බාකීර් මාකාර් අභිනව මැතිවරණ යටතේ පෙරමුණ ගත් අතර ටී. බී. ජයා මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සාර්ථකව සංවිධානය කළේය. මහා මැතිවරණයෙන් ටී. බී. ජායා මහතා ජයගත් අතර අගමැති ඩී. ඇස්. සේනානායක මහතාගේ රජයේ කම්කරු හා සමාජසේවා අමාත්‍යවරයා වශයෙන් පත්විය. බාකීර් මාකාර් මහතාගේ පාසල් ගුරුතුමා මෙන්ම මුල්ම දේශපාලන ගුරවරයා වූයේද ආචාර්ය ටී. බී. ජයා මහතාය. 1949 වර්ෂයේදී බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් දේශපාලන දිවිමගට පා තැබු බාකීර් මාකාර් මහතා පසුව බේරුවල නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.

මෙරට ජාතීන් අතර ජාතික සමගිය ඇති කිරීම සඳහා සිහිනයක් ඔහුට තිබිණි. ඒ සඳහා දැඩි කැපවීමකින් ඔහු කටයුතු කළේය. ඒ සඳහා වූ යන ගමනේදී තහංචි අභියෝග පරදවා තම අරමුණ වෙනුවෙන් ඉදිරියට යන්නට නිර්භීතිකම ඔහුට තිබිණි. මෙරට ජාතික සමගිය ඇති කිරීම සඳහා සියලු සුළු ජාතිකයන් මහා ජාතිකයන් සමග සුහදව ක්‍රියා කිරීමට සිංහල උගත යුතු යැයි හඬක් ඔහු රටවටා ගෙන ගියේය. මෙරට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතුය යනුවෙන් ලංකාවේ ප්‍රථම වරට නගර සභාවකින් යෝජනාවක් සම්මත කර ගත්තේ බාකීර් මාකාර් නගරාධිපතිතුමාය.

පොල්අතු පැළක, මැටි නිවසක වසින වැස්සට නිසි ආවරණයක් නොමැතිව හරි නින්දක් නොලැබුණ දරු පවුල්වල ජීවිත ගැන දැඩි සංවේදී ඇසකින් බැලූ බාකීර් මාකාර් මහතා ලංකාවේ ප්‍රථම වතාවට නගර සභාවකින් දුප්පතුන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේය.

1960 පැවැති මහා මැතිවරණයෙන් ජයගත් බාකීර් මාකාර් බේරුවල පළමු පාර්ලිමේන්තුවරයා වශයෙන් තේරීපත් විය. සියලු ජාතීන් අතර ජාතික සමගිය ඇති කරමින් ප්‍රභූවරයෙකු ලෙස මෙරට ජනතා ප්‍රසාදයට පත් බාකීර් මාකාර් මහතා සැබෑ ලෙසින්ම මහත්මා දේශපාලනඥයෙකු ලෙස දැකිය හැක. මේ පිළිබඳව එතුමන් පාර්ලිමේන්තුවේ කළ සිය මංගල කතාවෙන් මොනවට පැහැදිලි වනු ඇත. සිංහල රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කිරීම පිළිබඳව සිංහල ජාතියට දොස් පැවරීම නිවැරදි නොවන බව පැවසූ බාකීර් මාකාර් කොටස්වලට කැඩුණු ශ්‍රී ලංකාවක් වෙනුවට නොබෙදුණු ජාතියක් බිහි කළ යුතු බව අවධාරණය කොට තිබේ.

‘මම මුසිල්ම්වරයෙකු වීම ආඩම්බරයක්’, ‘ශ්‍රී ලාංකිකයෙකු වීම ආඩම්බරයක්’ අපි මුස්ලිම්වරු විදියට මිත්‍රත්වයෙන් දෑත සියලු වාර්ගිකයනට දිගු කරන්නේ ඔහුන් සියලු දෙනාම එක් ජාතියක් ලෙස සලකන නිසාය.

බෞද්ධ, ස්ලාම්, හින්දු, කතෝලික විවිධ ආගමික සම්මිශ්‍රණයක් ඇති බේරුවල බහුතරයේ ආශීර්වාදය දිනා ගැනීමට ඔහුට හැකි වූයේ එතුමාගේ උතුම් ආදර්ශවත් ක්‍රියා නිසාය. බේරුවල සිංහල ජනතාව පළාතේ මහජන මන්ත්‍රීවරයා වශයන් ඔහු තෝරා ගත්තේ ඒ නිසාය. 1977 පැවති මහා මැතිවරණයෙන් බේරුවල බහු මන්ත්‍රී කොට්ඨාසයේ පළමු මන්ත්‍රීවරයා වීමේ වාසනාව බාකීර් මාකාර් මහතාට උදාවිය. බේරුවලින් ජනතා අභිෂේක ලැබූ මේ ජන නායකයා ‘සිංහල බාකීර්’ කෙනෙකු ලෙස ඉස්මතු වන්නේ බහුතරයක් වූ බේරුවල සිංහල ජනතාවගේ කරමතිනි. 1977 අගෝස්තු 4 වැනි දින පාර්ලිමේන්තුවේ උප කථානායක ධුරයට පත් බාකීර් මාකාර් මහතාට 1978 සැප්තැම්බර් 21 වෙනි දින පාර්ලිමේන්තුවේ උත්තරීතර පදවිය වන කථානායක ධුරයට පත්වීමේ වාසනාවද උදාවිය. මෙරට රාජ්‍ය නායකයකු ලෙස වැඩ බැලීමේ වාසනාව ලත් බාකීර් මාකාර් මහතා පැරණි පාර්ලිමේන්තුවේ අවසන් කථානායක වශයෙන් ද, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක වශයෙන්ද මෙරට ඉතිහාසයට එක්විය.

බේරුවල ජනතාවගේ දිළිඳුකම පිටු දැක්ම සඳහා බේරුවල ජන උදානය ඔහු ආරම්භ කළේය. බෙන්තොට ප්‍රදේශයට සීමාවී තිබූ සංචාරක ව්‍යාපාරය බේරුවලට ගෙන ඒමට මුල් වූයේ බාකීර් මාකාර් මහතායි. බේරුවල සංචාරක කලාපයේ නිර්මාතෘ ලෙස බේරුවල ප්‍රදේශයේ ආර්ථිකයේ විප්ලවයක් ඇති විය. සංචාරක කර්මාන්ත මෙන්ම, ධීවර කර්මාන්ත වෙළෙඳ ව්‍යාපාර රජයේ රැකියා ආදියෙන් විශාල පිරිසකට ලබා දුන්නේය. ජීවත් වන්නට ආදායම් ලැබීමේ ක්‍රම හැම කෙනෙකුටම උදාවිය. මේ වරප්‍රසාද නිසා හැම කෙනෙකුටම වාසනාවන්ත කාලයක් උදාවිය.

1983 අගෝස්තු 31 වන දින කථානායක ධුරයෙන් සමුගත් බාකීර් මාකාර් මහතා එදිනට කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේය. 1998 ජුනි මස 31 වෙනි දින පාර්ලිමේන්තු දිවියෙන් සමුගැනීමට බාකීර් මාකාර් මහතාට සිදුවිය. ඒ දකුණු පළාතේ ආණ්ඩුකාරධුරය භාර ගැනීම සඳහාය. දේශපාලන දිවිමගේ අඩසියවසකටත් වඩා වැඩි කාලයක් කළ උතුම් ජන මෙහෙවර අවසන් කරමින් 1993 දෙසැම්බර් මස 21 වෙනි දින දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරයෙන් හා දේශපාලන දිවියෙන් ඔහු සමුගත්තේය. ඔහු කිසි දිනෙක ආගම් වාදියෙක් වූයේ නැත. ජාතිවාදියෙකු වූයේ නැත. ජාතික සමගිය ඇති කරවීම සඳහා මහඟු සේවාවක නිරත වූ බාකීර් මාකාර් මහතා නිලයට බලයට ගිජු කමින් කිසි දිනෙක ප්‍රතිපත්ති පාවාදී නොමැත. ඔහු වවුල් දේශපාලනය පිළිකුල් කළේය. ඔහු දේශපාලන දිවි මගට ආගමනය වූ එක්සත් ජාතික පක්‍ෂය හැර වෙනත් පක්‍ෂයකට පැන ගියේ නැත. ඔහු ඉපදුනේ මෙන්ම මිය ගියේද එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු වශයෙනි.

මුස්ලිම් ජාතිකයෙකුට ඉපදී මෙරට ජාතික සමගිය උදෙසා අනුපමේය සේවාවක නියැලෙමින් සිංහල රජ බස කරවීමෙහිලා අභීතව හඬ නැඟූ බාකීර් මාකාර් සහ ඔහුගේ මහත්මා දේශපාලන ගමන් මග වත්මන් දේශපාලන පරපුරට පරමාදර්ශයක් වනු ඇත.

ජිනසේන වේලාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment