චෙම්මනි ඝාතනයට මරණ දඬුවම නියම වූ සෙබළුන් 4 දෙනා නියෝගය නොතකා දස වසරක් හිරේ

319

සුප්‍රසිද්ධ චෙම්මනි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම කෙරුණු හමුදා සෙබළුන් සිව්දෙනා 1998 සිට 2008 දක්වා දසවසරක් දින ගණනය කිරීමකින් තොරව බන්ධනාගාරගත කර සිට ඇතැයි අනාවරණය වී තිබේ.

බන්ධනාගාරය තුළදී මෙම සෙබළුන්ට සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා නීතිඥ නිමල් මුතුකුමාරණ මහතා සිදු කළ කරුණු සොයා බැලීමකදී මෙම සිද්ධිය හෙළි වී ඇත.

චෙම්මනි ඝාතනය සම්බන්ධයෙන් මෙම හමුදා සෙබළුන් සිව්දෙනාට මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කෙරුණේ 1998 වසරේදීය. එම තීන්දුවට එරෙහිව මෙම හමුදා සෙබළුන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර 2004 වසරේදී ඔවුනගේ අභියාචනය ප්‍රතික්‍ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට නියම කෙරුණු මරණීය දණ්ඩනය එසේම ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කළේය.

එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් ඔවුන්ගේ දඬුවම එලෙසම ක්‍රියාත්මක වුවද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ දඬුවම 2008 වසරේ සිට ක්‍රියාත්මක කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට පසුව කළ ලිඛිත නියෝගයක් හේතුවෙන් මෙය සිදුව ඇත.

කොළඹ පුරහල බෝම්බ ප්‍රහාරය එල්ල කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඇසක් අහිමි කර පුද්ගලයන් රැසක් ඝාතනයට ලක් කළ කොටි ත්‍රස්තවාදීන් දෙදෙනාද ඇතුළුව කොටි ත්‍රස්තවාදීන් රැසක් විශේෂ සමාවන් යටතේ නිදහස් කර තිබියදී වසර විසිහතක් තිස්සේ සිරගතව සිටින මෙම හමුදා සෙබළුන්ට මෙතෙක් කිසිදු සමාවක් හිමිවී නැත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment