2013 මලයාසියානු සම්මන්ත්‍රණයට මිලියන 100ක් ගියේ නැහැ – සම්මේලනයේ මුදලින් වැය වුණේ ලක්ෂ 16 යි ඇමැතිව නොමඟ යවලා

161

හිටපු සභාපති රංජිත් රුද්‍රිගූ කියයි

2013 වසරේ ආසියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධානත්වයෙන් පැවති මලයාසියානු පාපන්දු සම්මන්ත්‍රණය සඳහා සහභාගි වීම පිණිස පාපන්දු සම්මේලනයට අයත් රුපියල් මිලියන 100ක මුදලක් පාපන්දු බලධාරීන් විසින් අවභාවිත කර ඇති බවට ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පෙරේදා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ ද සත්‍ය වශයෙන්ම ඊට වැය වූයේ රුපියල් දහසය ලක්ෂ හාරදහස් නවසිය අනූදෙකක (1604992) මුදලක් බව එකල පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වූ රංජිත් රුද්‍රිගු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

අදාළ වාර්තාවේ දැක්වෙන මලයාසියානු මුදල් වංචාව සම්බන්ධයෙන් ඇමැතිවරයාද නොමඟ යවා ඇති බව ඉන් පැහැදිලි වන බව ද රංජිත් රුද්‍රිගු මහතා එම නිවේදනයෙන් පවසා තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳ සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව මගින් අනාවරණය කර ගන්නා ලද දූෂණ හා වංචා 30 අතරට ගැනෙන ප්‍රධාන වංචාවක් ලෙස එම මුදල් අවභාවිතාව දැක්විය හැකි බවට ද ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පෙරේදා ප්‍රකාශ කරන ලදී.

එම කමිටු වාර්තාව මගින් අනාවරණය වී ඇති බව දක්වමින් ඇමැතිවරයා තවත් කරුණු කීපයක් ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පෙරේදා පැවැති මාධ්‍ය හමුවේ දී හෙළි කරන ලදී.

එකල හිටපු පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා අදාළ මලයාසියානු සංචාරය සඳහා වැය වූ වියදම් පිළිබඳ සම්මත වූ වාර්තාව ද මාධ්‍ය වෙත නිකුත් කරමින් එම නිවේදනය යොමු කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස (2013-2015) දක්වා කටයුතු කර, මීගමු පාපන්දු ලීගයේ සභාපතිවරයා ලෙස වසර විසිතුනක් ද, මීගමුව තරුණ ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස වසර 27ක්ද කටයුතු කරමින් සිටින තමන් තම පෞද්ගලික ධනයද පාපන්දු ක්‍රීඩාව සඳහා වියදම් කර ඇති බවත් තමන් හට පාපන්දු සම්මේලනයේ මුදල් සොරකම් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව ද ඒ මහතා එම නිවේදනයේ දක්වා තිබේ.

එසේම 2013 – 2015 දක්වා කාලය තුළ පාපන්දු සම්මේලනය සියලුම ගිණුම් විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ඇති බව ද එහි යම් දෝෂයක් නොවන බවට ඒවා පරිශීලනය කරන ඕනෑම අයෙකුට වැටහී යන බවද රුද්‍රිගු මහතා කරුණු සඳහන් කර සිටී.

ඇමැතිවරයා එම මාධ්‍ය හමුව සඳහා පාදක කර ගෙන ඇති කමිටු වාර්තාව තොරතුරු දැන ගැනීමේ පනත මගින් මේ වන විටත් තමන් අයදුම් කර ඇති බවද එමඟින් තම කීර්ති නාමයට හානිදායක වන කරුණු අන්තර්ගත වේ නම් ඒ සඳහා ඉදිරි පියවර ගැනීමට තමන් කටයුතු කරන බවද රංජිත් රුද්‍රිගු මහතා සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

2013 ආසියානු පාපන්දු සම්මේලන පරිපාලන සම්මන්ත්‍රණය 2013 වසරේ නොවැම්බර් 27 වැනි දා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා මලයාසියාවේදී පැවැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග 45 ක් නියෝජනය කරමින් නියෝජිතයෝ 45 දෙනෙක් සහ විධායක සභිකයෝ කිහිපදෙනෙක් සහභාගි වූහ.

මෙම සම්මන්ත්‍රණය සඳහා ලීග් නියෝජිතවරුන්ගේ මලයාසියාවේ අභ්‍යන්තර වියදම්හි විශාල කොටසක් දරනු ලැබුවේ ආසියානු පාපන්දු සම්මේලනය මගිනි.

එයින් සුළු වියදම් ලෙසින්, හෝටල් ගාස්තු, ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් වියදම් වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට වියදම් වූයේ රුපියල් 1,604,992/- ක මුදලකි.

මෙම සම්මන්ත්‍රණය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙම විදේශ ගමන සඳහා ක්‍රීඩා අමාත්‍යංශය හරහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීමට කටයුතු කළේ, එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසිනි.

තවද, මෙම වියදම් සියල්ලක්ම, 2013 – වසරේදී විගණනය කරන ලද, අවසන් කරන ලද, සහ සම්මත වූ වියදම් වේ. (මෙයට අමුණා ඇත.)

නමුත්, කනගාටුවට කරුණක් නම්,

අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී ගරු ක්‍රීඩා ඇමැතිතුමා, පවසා සිටියේ, මෙම මලයාසියානු සම්මන්ත්‍රණය සඳහා මිලියන 100ක පමණ මුදලක් අවභාවිත වී ඇති බවකි.

මෙය සාවද්‍ය ප්‍රකාශයකි.

මේ අනුව, පෙනී යන්නේ ඇමැතිතුමාව, නොමඟ යවා ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment