ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පළමු තරගය පරදී

196

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ක්‍රීඩා කළ සිය පළමු තරගයේදී කඩුලු 5ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය. එංගලන්ත කණ්ඩායම සමගින් පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් වූවාය. ඒ අනුව ජයග්‍රහණය හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ පන්දු වාර 17.1කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වූහ. එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 44කින් දායකත්වය දැක්වීමට ඇලිකා කිස්පි සමත් වෙද්දී නොදැවී ලකුණු 21ක් රැස් කිරීමට මයර් බවුචර් සමත්වූවාය. එංගලන්ත ඉනිමේ ලකුණු 63කදී කඩුලු 4ක් දැවී තිබියදී පිටියට එක් වූ ඇලිකා කිප්සි සහ මයර් බවුචර් ලකුණු 42ක ලකුණු සම්බන්ධතාවයක් එක් කිරීමට සමත්වූවාය. ශ්‍රී ලංකා ඉනිමේ යැවූ පළමු පන්දුවේදීම විශ්මි ගුණරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක් එක් කිරීමට චමරි අතපත්තු සහ හසිනි පෙරේරා සමත්වීද හසිනි පෙරේරා ලකුණු 17කට සහ චමරි අතපත්තු ලකුණු 10කට දැවී යෑම මත ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටුණි. මැද පෙළින් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක් ගැසූ නිලක්ෂි ද සිල්වා කුණු 25ක් රැස් කළ අතර ඕෂදී රණසිංහ ලකුණු 13ක් වාර්තා කළාය. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීමට සොපියා ඇකල්සටන් සමත් වෙද්දී ඉසී වෝන් සහ ෆ්‍රියා කෙම්ප් කඩුලු 2ක් බිඳ දැමුවාය.

 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය හෙට  (2 වැනිදා) නවසීලන්තය සමගින් පැවැත්වේ.

 ලකුණු සාරාංශය- ශ්‍රී ලංකාව පන්දු වාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 106යි (හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, ඕෂදී රණසිංහ 13, සොපියා ඇක්ලෙස්ටන් 25/3, ෆ්‍රියා කෙන්ප් 14/2, ඉසී වොන්ග් 10/2)

 එංගලන්තය පන්දු වාර 17.1කදී කඩුලු 5ක් දැවී ලකුණු 109යි (ඇලිකා කෙප්සි 44, මයර් බවුචර් 21, ඉනෝකා රණවීර 13/3, ඕෂදී රණසිංහ 20/2)

advertistmentadvertistment
advertistmentadvertistment