ජනමතයට බියෙන් කට වහන ප්‍රජාතන්ත්‍රවාදී විකට රූප!

177

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහා සමුළුව ඇමතූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එහි රැස්ව සිටි රාජ්‍ය නායකයන් මෙන්ම ජගත් සංවිධානවල ප්‍රධානීන් සමඟ ද විවිධ සංවාදවල නිරත වෙමින් ශ්‍රී ලංකාවට අදාළ සමාජ – ආර්ථික හා භූ දේශපාලන තේමාවන් සම්බන්ධයෙන් එකඟකතාවන් ඇතිකර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් ඇතැම් මාධ්‍යවල ද වාර්තා පළකර තිබිණි. ජනාධිපතිවරයාට සමීප වෙනත් ආරංචි මගින් ද ඒවා තහවුරු කරනු ලැබ ඇත. මේ ලියන මොහොත වනවිට ජනාධිපතිවරයා ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සංවාද සැසිය ඇමතීමට ජර්මනිය බලා පිටත්ව ගොස් සිටියි. එම සංචාරයට පෙර ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වී ඔවුන් සමඟ එළඹුනු ආර්ථික හා වෙනත් ගිවිසුම් සම්බන්ධ සමාලෝචනයක නිරත වූ බව ද වාර්තා විය. අයි.එම්.එෆ් ණය මුදලේ දෙවන වාරිකය ලබා ගැනීම ඒ සාකච්ඡාවල අරමුණ විය. දැනට තිබෙන වාර්තා අනුව එම ණය වාරිකය ලබාදෙන නිශ්චිත දිනයක් ද ප්‍රකාශයට පත්ව නැත. එහෙත් එම මුදල් ලැබෙනු ඇතැයි ආණ්ඩුව අපේක්‍ෂා සහගතව සිටියි. එසේ වුවද එම අයි.එම්.එෆ්. දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් ලංකාවේ ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කරමින් ම වර්ධනය විය යුතු ඉලක්ක කීපයක් සම්බන්ධ විග්‍රහයක් කර තිබුණි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට සහාය දීමට ඔවුන් සූදානම් බව ද කියවිණි. ඒ අතරම බදු සහන දීම නිසා රටේ ආර්ථිකයට වූ බලපෑම් ගැන ද ඔහු පෙන්වා දී තිබුණි. රටේ ආර්ථිකය බංකොලොත් වීමේ හේතු සාධක සොයන කමිටුව තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති වුවද ඇතැම් අය ඒ වරද මහ බැංකුව, භාණ්ඩාගාරය වැනි ප්‍රධාන ආයතනවල නිලධාරීන් මත පැටවීමේ සූදානමක් ඇති බවට චෝදනාවක් ද නැඟී තිබේ. ආණ්ඩුවේ ගජ මිතුරන්ට බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කෙරෙන චෝදනා විමර්ශනය කරනු ඇතැයි සිතීම ද දුෂ්කරය. ගෝඨාභය බලයට පත්කිරීම සඳහා කැප වූ ඇතැම් ව්‍යාපාරික මිතුරන්ට දේශපාලන ප්‍රතිලාභ ලබාදීම නිසා මෙන්ම මහා පරිමාන ව්‍යාපාරිකයන් සමාගම්, පිටරටින් වාහන ගෙන්වන ඇතැම් අය ආදීන්ගෙන් ද බදු අය කර නොගැනීම දැන් සාමාන්‍ය ප්‍රවෘත්ති බවට පත්ව තිබේ. හිටපු ඇමැතිවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම බදු වංචනිකයන් හා ගෙවීම් පැහැර හරින්නන් පිළිබඳ දීර්ඝ විග්‍රහයක් ද කරනු ලැබ ඇත. එහෙත් මෙම බදු බර එහෙම පිටින්ම වාගේ පටවා ඇත්තේ වෘත්තිකයන්ට හා පොදු ජනතාවට බව පැහැදිලිව පෙනේ.

ආණ්ඩුවට අයවිය යුතු බදු මුදල් නොගෙවීම පමණක් නොව ඉතා සොච්චමක් ගෙවා ඒ බදු ලිපි ගොනු වසා දමන ආකාරය ද මහින්දානන්ද විසින් හෙළිකරන ලදී. මෙය අතිශය දූෂිත මෙන්ම වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු දුරාචාර ගනුදෙනුවකි. මුදල් හා දේශපාලන බලය විසින් විනාශ කරන ලද සාරධර්ම, නීතිය පමණක් නොව යුක්තිය ඉටුවීම ද මකර කටට ගොස් තිබෙන බව නොවේද? මේ සිද්ධියෙන් හෙළිවන්නේ. දූෂණ විරෝධී පනත්, වත්කම් බැරකම් නීති බලාත්මක කිරීම් ගැන දොඩවන දෙඩවීම් ද සුළුපටු නැත. එහෙත් මේ බදු වංචා කරන කම්බා හොරුන් අබියස ඒ නීති ඇඹරෙන්නේ දැයි අපි අසමු.

ජනමතයට බියෙන් කට වහන ප්‍රජාතන්ත්‍රවාදී විකට රූප!

මෙබඳුම තවත් සිදුවීමක් දින කීපයකට පෙර මාධ්‍යවල වාර්තා කර තිබුණි. ඒ තංගල්ලේ සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ තවත් නියාමකවරුන් දෙදෙනෙකුගේ අලජ්ජී දාමරික ක්‍රියාවකි. පාතාල මෙහෙයුමකට නොදෙවෙනිව මෙහිදී සිදුව ඇත්තේ ද බීඩි නිෂ්පාදකයකුට පහර දී අල්ලස් ගැනීමට උත්සාහ කිරීමකි. මෙම සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් මේ මදාවි නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇතැයි ද වාර්තා වේ. එහෙත් මොව්හු යළිත් මොන ක්‍රමයකින් හෝ නිදහස්ව ඒ නිල බලවලට ම පත් නොවෙතියි සිතිය හැකිද? පොලිසිය, සුරාබදු නිලධාරීන් මෙන්ම බන්ධනාගාර වැනි සියලු තැන්හිම වාර්තා වන්නේ මෙබඳු දූෂිත අමන මෙහෙයුම් නොවේද? කුමක් හෝ සැලැස්මේ තිබුණු අඩුවක් නොවන්නට මේ වනවිට ‘හරක්කටා’ ලෙස හැඳින්වෙන කුඩු ජාවාරම්කරුවා රටින් ද පැනගොස් අපරාධ මෙහෙයුම් ඇරඹීමට ද ඉඩ තිබිණි.

මේ පුදුම පරිහානි යුගයකි. අවිගත් මැරයෝ ගම් බිම් බිය වද්දති. මහමඟ දුවන වාහන නවත්වා පුද්ගලයන් පැහැරගෙන යති. හොරා පොලිස්කාරයෝ ගෙවල්වලට පැන සියලු සේසත රැගෙන යති. සිවුරු හොරු ද බුදු දහමට පමණක් නොව සීලාචාර පැවැත්මට ද නිගා දෙන ලිංගික අපචාර සඳහා සමාජ මාධ්‍ය යොදා ගනිති. සමෘද්ධි බැංකු නිලධාරිනියක් ගනුදෙනුකරුවන්ට පරුෂ වචනයෙන් බැන වැදුන පුවතක් ද වාර්තා විය. මෙබඳු අපචාර ලැයිස්තු දෙක තුනක් එක පෙළට ඉදිරිපත් කළ හැකිය. එහෙත් පලක් තිබේද? නීතියක් රීතියක්, හැදියාවක් නැති රටකි. වරද රටේ නොව රට කළවුන්ගේ හා කරවන උන්ගේ ය. එහෙත් බොහෝ යහපත් ජනකොටස් රට හැර යමින් සිටිති. අපි හරක්කටාලා, කුඩු සලිඳුලා හා මන්නා රමේෂ්ලා ගැන කියවමු. අධ්‍යාපනය අවුල් ය. විභාග කාල සටහනක් හදා ගැනීමට බැරිය. ගරුවරු අධිකරණයට ගොස් යුක්තිය අයැදිති. පාසල් සිසුවෙකුට කසිප්පු විකිණීම මැනවැයි සිතෙන්නේ නම් මේ විපරීත අධ්‍යාපන ප්‍රතිචාර නිසා දැයි නිශ්චිතව කිව නොහැක. එහෙත් සියලු සමාජ සාරධර්ම, මානව හිමිකම්, සංස්කෘතික වටිනාකම් සියල්ල බුල්ඩෝසර්කරණය කරමින් දෙගොඩ තලා යන විනාශකාරී ප්‍රවාහයකට හසු වී මුළු සමාජයම ඇඹෙරෙමින් තිබේ. කෙනෙක් එයට හසු වී ගසාගෙන යති. තව කෙනෙක් ඉන් හොද්ද බොර කර ගැනීමටත් මාන බලති.

ජනාධිපති රනිල් පසුගිය දිනෙක කාර්ය සාධනයක් දැක්වූ රාජ්‍ය ආයතන කීපයකට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අසමත් ආයතනයක් බවයි. මූල්‍ය පාලන වගකීම තිබෙන එයින් එයට ලැබෙන දායකත්වය ගැන ඔහු තුළ කනස්සල්ලක් තිබෙන බව පැහැදිලි විය. මේ බරපතළ ප්‍රකාශය බොහෝ සිවිල් සංවිධාන සඳහන් කරන වගකීම හා වගවීම බව නිසැකය. 2015 ජනාධිපතිවරයා, අගමැතිව සිටි යහපාලන කාලයේදී සිදු වූ දේවල් ඔහුට ද මතක තිබිය යුතුය. රාජ්‍ය ආදායම අහිමි කිරීමේ චෝදනා පත්‍රයක් මුදල් අමාත්‍යාංශයට ද තිබේ. එහි අන්තර්ගතය කුමක් දැයි ජනාධිපතිවරයාද දනී. එහෙත් එබඳු අමාත්‍යාංශයකට කාර්ය සාධනය වෙනුවෙන් සම්මානයක් පිරිනැමීම ගැන අප කිව යුත්තේ කුමක්ද?

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවෙකුගෙන් මේ සමාජ ආර්ථික අර්බුදවලට සාධනීය යෝජනාවක් ඉදිරිපත් නොවන අතරම සමහරු ඩොලර් ඉපයීම සඳහා ගංජා වැවීම, කසිප්පු නීතිගත කිරීම වැනි විකාර විහිළු ද සපයති. කොළඹ, ගම්පහ වැනි ප්‍රධාන නගරවලින් ද මන්දපෝෂණ රකුසා දත් විලිස්සන බව වෛiවරුන්ගේම සමීක්‍ෂණවලින් හෙළි වී තිබේ. ජීවන වියදම පහළ බැස තිබෙන සංඛ්‍යාලේඛන සමාජගත කළත් ඒවායින් කුසගිනි නිවෙන්නේ ද නැත. සෞඛ්‍ය සේවයේ මහිමය කිව යුතු නැත. වෛiවරු යළිත් මහා විරෝධතාවකට සූදානමින් සිටිති. ඒ ජරමර අස්සේත් හදිසි ඖෂධ මිලට ගැනීම් ගැන ද විවේචන ඇසෙයි. කුමක් වුවත් සෞඛ්‍යය, ආහාර යන දෙක ගැන ම ජනතාවගේ පැත්තෙන් බලද්දී පෙනෙන චිත්‍රය බිහිසුණු ය. සාමාන්‍ය මිනිහෙකුට පහසුවෙන් ලබාගැනීමට තිබුණු බිත්තරයට ගිය කල දශාව කව්රුත් දනී. කුකුළු මස් මිල රුපියල් සියයකින් අඩුවීම වෙළෙඳ ඇමැතිවරයාට හාස්කමක් දැයි අපි නොදනිමු.

මේ අතර සමාජ දේශපාලන අංශවල අවධානය යළිත් ඇද ගැනීමට චැනල් ෆෝ වර්තා චිත්‍රපටයට හැකි වී තිබේ. මේ වනවිට එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ හා නිෂ්පාදක යන දෙදෙනා විසින් ම චැනල් ෆෝ ගැන දක්වන අදහස් ප්‍රශ්නකාරී වී තිබේ. චිත්‍රපටයක් හෝ වෙනත් නිර්මාණයක් කල්පිතයක් විය හැකිය. එහෙත් වාර්තා චිත්‍රපටයක් යනු එබන්දක් නොව සමාජ වගකීමක ප්‍රකාශනයකි. එසේ වුවද දැන් ඔවුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වන්නේ එය මාධ්‍ය සදාචාරයේ ගෞරවය මත සිදුකළ පැහැරීමක් වැනි මුග්ධ මෙහෙයුමක් බවය. එය දැන් නිකම්ම වාතයක් නොව ජාත්‍යන්තර වාතයකි. ඒ ගැන ඊට වඩා කතා කළ යුතු නැත. තව ටික දිනකින් එය කර තබා ගත් අයටම බිම තැබීමට ද සිදුවනු ඇත.

මේ අතර ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබෙන සමාජ මාධ්‍ය පාලනය සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. ජ.වි.පෙ. අනුර කුමාර නම් පවසන්නේ එය ජනාධිපති රනිල්ගේ මාධ්‍ය මර්දන ක්‍රියාන්විතයේ අවසන් තුරුම්පුව බව ය. අද සලකවිධ විiුත් හා මුද්‍රිත මාධ්‍ය අභිබවමින් සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණ තිබෙන බව කවුරුත් දනිති. මේවායින් කෙරෙන අනාවරණයන්, විවේචන ආදිය දේශපාලන ප්‍රතිරූපවලට මෙන්ම ඔවුන්ගේ බොහෝ ක්‍රියාකාරකම්වලට ද අභියෝගයක් වී තිබේ. මෙම සමාජ ජාලා සමඟ දේශපාලනඥයන්ට පමණක් නොව දූෂිත හා වංචනික නිලධාරීන්ට ද ප්‍රශ්න තිබේ. ස.ජ.බ. ගයන්ත කරුණාතිලකගේ විවේචනය වන්නේ ද සමාජ මාධ්‍ය පාලන පනත පොලිස් රාජ්‍යයක් බිහිවීමේ අනතුරුදායක සංඥාවක් බව ය. ඔහුට අනුව නුදුරු අනාගතයේදී එළඹෙන මැතිවරණවලින් ආණ්ඩුවට අත්විය හැකි අන්ත පරාජයට බියෙන් මෙම පනත කඩිමුඩියේ රැගෙන ආවකි. දවසින් දවස උග්‍රවන සමාජ – ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නැති පාලනයකදී එල්ල විය හැකි ජනතා විරෝධය මැඬපැවැත්වීම සඳහා ප්‍රබලම අවිය වන්නේ මාධ්‍ය මර්දනය බව ඔහු පෙන්වා දෙයි.

අද මේ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ විවිධ විවේචන තිබේ. සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් තවමත් යල් පැනගිය ගතානුගතික ආකල්පවල එල්ලී සිටින පොහොට්ටුවට ද මාධ්‍ය සමඟ ප්‍රශ්නයක් තිබේ. එය ජනාධිපති රනිල්ගේ පැවැත්ම කෙරෙහි ද බලපාන්නකි. ජනාධිපතිවරයා ඩිජිටල් තාක්‍ෂණය, අන්තර්ජාලය වැනි නූතන සන්නිවේදනයන් ඒ හා බැඳුණු තාක්‍ෂණයත් අසීමිත බලයක් සහිත එකක් බව ද දනී. ගෝඨාභය ගෙදර යැවීමේ ‘ගෝඨා ගෝ හෝම්’ පාඨය ව්‍යාප්ත වූයේ ද සමාජ මාධ්‍ය ඔස්සේ ය. ඒ සම්බන්ධයෙන් පොහොට්ටු පාර්ශ්වයට බලවත් සිත් තැවුලක් ද තිබෙන බව නිසැකය. එහෙත් ගෝඨාභයගේ විධායක බලය පැවරුණු රනිල්ට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තිබීමට හේතුවක් නැත. එසේ වුවද ගාලුමුවදොර විරෝධතාව රාජ්‍ය අස්ථාවර කිරීමක් බවත් එයට වගකිවයුතු සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බවත් රාජපක්‍ෂ කඳවුරේ අස්ථානය බව පෙනේ.

සමාජ මාධ්‍ය ජාලා යනු ආණ්ඩුවට නියාමනය කළ නොහැකි බව සමහරු පවසති. ඒ වෙනම තාක්‍ෂණ කරුණු මත පදනම්වය. භෞතික අවකාශයට වඩා සයිබර් අවකාශය වෙනස් වුවත් ඒවායේ නිර්මාතෘවරුන් විසින් ම ඒ සඳහා චර්යා පද්ධතියක් අනුමත කර තිබෙන බව ද කියති. එසේ වුවද මෙම මාධ්‍ය භාවිත කරන ඇතැම් රටවල් ඒවා නියාමනය සඳහා නීති සම්පාදනය කර ඇති බව ද ඔව්හු වැඩිදුරටත් සඳහන් කරති. ඒ කුමක් වුවද ශ්‍රී ලංකාවේ මෙම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි විවේචන තිබේ. එහි වඩාත් ක්‍රියාත්මක වන්නේ ජනතා සුබසාධනය, යහපත් සමාජයක් ගොඩනැඟීම වැනි යහපත් අරමුණු වෙනුවෙන් නොව පටු පුද්ගලවාදී ආකල්පවලින් බවට සමහරු තර්ක කරති. කිසිදු පදනමක් නොමැතිව චරිත ඝාතන කිරීමටත්, ඒවා සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොමැතිව ක්‍රියාකිරීමටත් මෙම සමාජ මාධ්‍ය භාවිතය තුළ අවකාශ ලැබී තිබෙන බව ඔව්හු පෙන්වා දෙති. එහි යම් සත්‍යයක් තිබේ. එහෙත් මෙම සමාජ මාධ්‍ය වාරණයට ආණ්ඩුව පෙළඹී ඇත්තේ එම මාධය භාවිතය නිවැරදි කිරීමට හෝ එයින් අගතියට පත්වන පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ද යන සැකය බොහෝ විද්වතුන් තුළ පමණක් නොව ප්‍රබුද්ධ පුරවැසියන් තුළ ද වේ. විශේෂයෙන් මෙහිදී බොහෝ දෙනකු විසින් හුවා දක්වන කරුණක් වන්නේ ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය විනිශ්චයට පත්කරනු ලබන පංච පුද්ගල කමිටුව පිළිගත නොහැකි බව ය. නිසැකයෙන් ම එබඳු පත්වීම් ලබන අය කිසි විටෙක තමන් පත් කරන ලද ජනාධිපතිවරයාට එරෙහිව තීන්දු තීරණ ගනු ඇතැයි සිතිය නොහැකිය.

මෙරටේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බලයට පත් හැම ආණ්ඩුවකටම තිබුණේ සාධනීය විවේචන නොවේ. මාධ්‍යකරුවන් බිලිබා ගැනීම, මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම සම්බන්ධ විවිධ විෂමාචාර ඒ බොහෝ යුගවලදී දැක ගත හැකි වූ බව ද රහසක් නොවේ. නිදහස් මාධ්‍ය, භාෂණයේ නිදහස වැනි අලංකාර හුදු සැරසිලි ලෙස තිබිය යුතු දේවල් නොවේ. එහෙත් විවේචනය, නුරුස්සන ජරපත් දේශපාලනයක නිතරම මාධ්‍ය නිදහස ප්‍රශ්නයකි. රාජපක්‍ෂ පාලන සමයේදී මෙන්ම ඊට ඉහත ජයවර්ධන හා ප්‍රේමදාස යුගවල මාධ්‍යකරුවා, කලාකරුවා වැනි චරිත මුහුණ දුන් අමිහිරි අත්දැකීම් කෙතරම් ද? ඝාතනයට හා අතුරුදන් වීමට මෙන්ම රට හැර යෑමට ද සිදු වූ මාධ්‍යවේදීන්, කලාකරුවන් වෙනුවෙන් ඉටු වූ යුක්තිය කුමක් ද?

මේ ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් මෙන්ම මුරණ්ඩු පාලනය ගැන ද දැඩි විවේචන තිබේ. පසුගිය දිනක හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරන්නේ ඩාලි පාරේ සිට නෙලුම් මාවත දක්වා වූ දේශපාලන පක්‍ෂ කාර්යාල විසින් බව ය. බලයට පත්වීමට පෙර ජනතාවට ඉදිරිපත් කෙරෙන මැතිවරණ ප්‍රකාශය ඔහු විසින් හඳුන්වන ලද්දේ මඟුල් කපුවන් මනාලයාගේ හා මනාලියගේ පාර්ශ්වවලට කෙරෙන පූචානම් කතාවලට වඩා වෙනසක් නැති හිස් ප්‍රකාශ ලෙස ය. කොහොමටත් අපට හැඟෙන පරිදි පළාත් සභා හා පළාත් පාලන ඡන්ද අහෝසි කළ ආකාරයට ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අහෝසි කිරීම පහසු නැත. එහෙත් ජනමතයට බියවන දේශපාලන සමාජයක බලය උදෙසා සිදුවිය නොහැක්කේ කුමක්ද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment