මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ! – පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න

309

චමුදිතගේ හැර අනෙක් සේරම දේවල් ගැන ආණ්ඩුව හොයනවා

ජනතාව අපේක්‍ෂා කරන විකල්ප නායකයා සජිත්

කොවිඞ් වසංගතයට මෙන්ම ණය අර්බුදයකට රට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී වෛද්‍ය සේවයේ වෘත්තිකයන් විසින් දියත් කළ වැඩ වර්ජනය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් පළ කරයි. එබැවින් අප ඒ පිළිබඳව හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු මෙන්ම වෘත්තීය සමිති නායකයකු ද වන කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් ඒ පිළිබඳව විමසීමට අදහස් කළෙමු. එම වර්ජනය පිළිබඳව මෙන්ම විවිධ දේශපාලන සිදුවීම් පිළිබඳව ද ඒ මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – පසුගිය දිනවල වෛද්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් දිගින්දිගටම වැඩ වර්ජනවල නිරත වූවා. ආණ්ඩුව නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් එම වර්ජනයන් පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබෙනවා, කොවිඞ්-19 වසංගතයට මෙන්ම ණය අර්බුදයකට රට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී වැඩ වර්ජන සිද්ධ කිරීම වැරදි බව.

වැඩ වර්ජනයන් පිළිබඳව මෙන්ම ඒ පිළිබඳව ආණ්ඩුව පාර්ශ්වයෙන් දක්වන අදහස් පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – ප‍්‍රශ්න තිබුණ අවස්ථාවල දී මීට පෙරත් වැඩ වර්ජන තිබුණා. අද ඔය කතා කියන ඇමැතිවරු එදා විපක්‍ෂයේ ඉන්නකොට ඔය කතා කිව්වේ නැහැ. වැඩ වර්ජකයන්ට සහයෝගයක් දුන්නා. දැන් තමයි ඔය කතාව කියන්නේ.

රටේ ප‍්‍රශ්න තිබෙන බව ඇත්ත. ප‍්‍රශ්න තිබෙන අවස්ථාවේදී වැඩ වර්ජන කිරීමත් වැරැද්දක්. නමුත් මෙම තත්ත්වයට වගකිව යුත්තේ වෘත්තීය සමිති ද එසේත් නොමැති නම් එම වෘත්තීය සමිති සමඟෙ සාකච්ඡා කරල මෙම ප‍්‍රශ්නය විසඳීමට හෝ එසේත් නොමැති නම් රටේ පවතින ආර්ථික තත්ත්වය පෙන්වා දී එම තත්ත්වය යහපත් වූ පසු ඔවුන්ගේ ප‍්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදීමට කටයුතු නොකරන ආණ්ඩුවද? මෙම වෘත්තීය සමිති මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ. මේ ආණ්ඩුව මෙම වර්ජන නතර කිරීමට අවශ්‍ය පියවර නොගෙන දඩබ්බර ආකාරයට වගේ් ඉන්නවා. මෙම වර්ජන නතර නොවීමට මේ ආණ්ඩුවේ දඩබ්බරකම එක් හේතුවක් පමණයි. අනෙක් හේතුව තමයි දැන් ඉන්න ඇමැතිවරුන්ට මෙම වර්ජන ඇතිවීම ලොකු ප‍්‍රශ්නයක් නොවීම. ඒකට හේතුව වැඩ වර්ජන සිදු නොවුණත් රෝගීන්ට දෙන්න බෙහෙත් රෝහල්වල නැහැ. ඒ වගේම ශෛල්‍යකර්ම කිරීමට අවශ්‍ය උපකරණ වගේම අනෙකුත් බඩු බාහිරාදිය නැහැ. එම හේතු සාධකයන් නිසා අද වනවිට රෝහල්වල තිබෙන්නේ වැඩ වර්ජනයක් නොකළත් එබඳු තත්ත්වයක් තමයි. එම නිසා විය යුතුයි දැන් ඉන්න ඇමැතිවරු එතරම් වුවමනාවකින් රාජකාරි නොකරන්නේ.

ප‍්‍රශ්නය – මෙම වැඩ වර්ජන දේශපාලන අරමුණු ඇතිව කරන බවට ආණ්ඩුව චෝදනා කරනවා. එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුත් මෙම වැඩ වර්ජනයට නායකත්වය ලබාදීම එම චෝදනා එල්ල කිරීමට එක් හේතුවක් වී තිබෙනවා.

එම චෝදනාව සම්බන්ධයෙන් ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – එක් හෙද සංගමයක් වැඩ වර්ජනය කරලා තිබෙනවා. එතකොට අනෙක් හෙද සංගමයේ නායකයා කවුද? එම සංගමයේ නායකයා තමයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි.

උන්වහන්සේගේ පන්සලේ තමයි පොහොට්ටුවේ කාර්යාලය තිබුණේ. එතකොට අද උන්වහන්සේගේ නායකත්වයෙන් යුතු හෙද සංගමය වර්ජනයට සම්බන්ධ නැත්තේ ඔවුන් පොහොට්ටුවේ නිසාද? ඒකත් කියන්නකෝ.

සංගමයක සාමාජිකයන් වර්ජනයකට සූදානම් නැතිනම් නායකයාට පමණක් තනිව වැඩ වර්ජනයක් කරන්න බැහැ. හෙදියන්ගෙන් 90% ක් මෙම වර්ජනයට සම්බන්ධ වී තිබෙනවා. බේරුවල රෝහලේ හෙදියන් 34 දෙනාගෙන් 30 ක් වර්ජනයට සම්බන්ධ වී තිබෙනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීමත් නොසලකා හෙදියන් වර්ජනයට සම්බන්ධ වී තිබෙන්නේ මෙතැන ඇත්ත කාරණයක් තිබෙන නිසානේ.

මෙම වර්ජනය, නායකයා විසින් දඩබ්බරව තීරණය කරන ලද එකක්ද එසේත් නොමැති නම් සමස්ත සාමාජිකයන්ගේ ප‍්‍රශ්නයක් නායකයා විසින් නියෝජනය කරනවාද කියන එක තමයි ඇමැතිවරුන් විසින් තේරුම් ගත යුත්තේ. මෙම වර්ජනයේදී මුළුමහත් සාමාජිකත්වයේ බලාපොරොත්තුව නායකයා විසින් නියෝජනය කරනු ලබනවා. එම නිසා තමයි එම වැඩ වර්ජන සාර්ථක වුයේ. එම නිසා මෙම වර්ජනයට සම්බන්ධ නායකයන් කැඳවලා සාකච්ඡා කළ යුතුයි. මම හිතන්නේ ඊයේ නායකයන් කැඳවලා සාකච්ඡාවක් කළා. මීට පෙරම වැටුප් විෂමතා ප‍්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළා නම් ගැටලූවක් මතුවන්නේ නැහැ.

ප‍්‍රශ්නය – වෛද්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ වර්ජනයන්ට සම්බන්ධ වූ රවි කුමුදේශ්, සමන් රත්නප‍්‍රිය යන නායකයන් ඔබගේ සමීප මිතුරන් බවත්, එම නිසා එම වර්ජනය පසුපස ඔබත් සිටින බව පැවසෙනවා.

එම චෝදනා ඔබ පිළිගන්නවාද?

පිළිතුර – ඔවුන් පමණක් නොවෙයි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනුත් මම සමීපව ඇසුරු කරනවා. පසුගිය ජනාධිපතිවරණයට මම තරග කළා නම් උන්වහන්සේ මගේ වේදිකාවට වඩින බව කිව්වා. ඒක තමයි මිත‍්‍රත්වය. පසුගිය දවසක උන්වහන්සේ මට සඳහන් කළා මගේ යම්කිසි වැඩපිළිවෙළක් තිබෙනවා නම් එහි කාර්යාලය පන්සලේ පිහිටුවාගන්නා ලෙස. මා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් උන්වහනසේ වැඩිය මට පිරිත් නූල් බඳින්න. ගිය ආණ්ඩුවෙන් කළ ඒ දේවල්වලට උන්වහන්සේ එකඟෙ වුයේ නැහැ. මට පිරිත් නූල් බැඳීම පිළිබඳව මාධ්‍යවේදීන් උන්වහන්සේගෙන් විමසූ විට, උන්වහන්සේ සඳහන් කළා මම පිරිත් නූල් බඳින්නේ නැතිව හම්බයෙක්ද පිරිත් නූල් බඳින්නේ කියලා. මාධ්‍යවේදීන්ට නොතේරුණ දේ උන්වහන්සේ කියල දුන්නා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වගේම රවි කුමුදේශ් සහ සමන් රත්නප‍්‍රියත් මම වෘත්තීය සමිති කරන කාලයෙත්, වෘත්තීය සමිති කටයුතුවලට සම්බන්ධ වී සිටියා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදී මාස තුනකට වරක් හමුවී සාකච්ඡා කරලා ඔය වැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගත්තා. මට එකම ප‍්‍රශ්නය තිබුණේ ජී. එම්. ඕ එකත් සමඟෙ පමණයි. ඒ සඳහා හේතු වුයේ ඔවුන් සම්පූර්ණයෙන්ම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම තමයි. නමුත් මෙම වෘත්තීය සමිති, දේශපාලන වුවමනාවන් අනුවම හැසිරෙන ඒවා නොවෙයි.

ප‍්‍රශ්නය – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ නායකත්වයෙන් යුතු වෛද්‍ය සංගමය මීට පෙර ඔබගේ ස්ථාවරයට සමීප ස්ථාවරයක සිට කටයුතු කරන අයුරු අපි දුටුවා. නමුත් ඔවුන් මෙම අවස්ථාවේදී වැඩ වර්ජනයන්ට විරුද්ධව ආණ්ඩුවට පක්‍ෂ ස්ථාවරයක කටයුතු කරන බව පෙන්වා තිබෙනවා. එම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – වැඩ වර්ජනවලට විරුද්ධ මතයන් තිබෙනවා, බෙල්ලන මහතාට විශේෂයෙන්ම. ඒ මහතා එම මතයට ආවේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන නිසා. සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනයක් නොකළ යුතුය යන මතයේ බෙල්ලන මහතා සිටිනවා. ඔහුගේ මතය බොහොම හොඳයි. එහෙම නම් ඔවුන්ගේ ප‍්‍රශ්න නිරාකරණය කිරීම සඳහා වෙනත් ක‍්‍රමවේදයක් යොදා ගත යුතු වෙනවා. සාම කමිටුවක් වැනි ආයතනයක් හෝ පිහිටුවල, ඔවුන්ගේ ප‍්‍රශ්න එහිදී සාකච්ඡා කරල, විසඳා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය වැඩ වර්ජනවලින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් නම් බොහොම හොඳයි.

ප‍්‍රශ්නය – රට තුළ දිගින්දිගටම සිද්ධ කරන වැඩ වර්ජනවලට එරෙහිව ජනමතයක් ගොඩනැඟෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. සමහරුන් ප‍්‍රකාශ කරනවා මෙම වැඩ වර්ජන සම්බන්ධයෙන් 1980 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තදින් කටයුතු කළ ආකාරයට හෝ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයට කටයුතු කළ යුතු බව.

එම ප‍්‍රවණතාවය පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – ජේ. ආර්. ජයවර්ධන මහතා තදින් කටයුතු කරල වැඩ වර්ජන පාලනය කළාද? නැහැනේ. දිගින් දිගටම වැඩ වර්ජන පැවතියානේ. මමත් ඒ කාලයේ වැඩ වර්ජන කළා. ජේ. ආර්. ජයවර්ධන මහතා මට විරුද්ධව අත්‍යවශ්‍ය සේවා පනත ගෙන ආවා. නමුත් අපි දිගටම වැඩ වර්ජන කළා. බලය යොදලා වැඩ වර්ජන පාලනය කිරීමට පුළුවන් තාවකාලිකව පමණයි. හැමදාම එහෙම කරන්න බැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතාට පුළුවන් වුණාද එහෙම කරන්න. බැහැනේ. නමුත් පසුගිය පාලන කාලය තුළ වැඩ වර්ජන තිබුණේ නැහැ. අවසාන කාලයේදී අපේ රජයට එරෙහිව වැඩ වර්ජන තිබුණේම නැහැ. ඒකට හේතුව තමයි අපි සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීම. සමහර සාකච්ඡා සඳහා අගමැතිවරයාත් සහභාගි වූවා.

ප‍්‍රශ්නය – සමගි ජන බලවේගයේ සංවිධාන කටයුතු වේගවත් කර ඇති බව දකින්න තිබෙනවා. ඒ සඳහා බලපා තිබෙන හේතු සාධකයන් මොනවාද?

පිළිතුර – මේ රජය දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. මේ වසරේ මැද භාගය පමණ වනවිට මේ ආණ්ඩුවට කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. ආණ්ඩුවේ වගකිවයුත්තන් අපත් සමගත් කතා කරනවා, ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව. ඒක තමයි ඒක හේතුවක්.

පසුගිය මැතිවරණයට අපේ පක්‍ෂය තරග කළේ සමගි ජන බලවේගය යන බෝඞ් ලෑල්ල සමග සහ සජිත් පේ‍්‍රමදාස යන නම සමඟෙ පමණයි. ඒක තමයි යථාර්ථය. පසුගිය මැතිවරණයට මුහුණ දෙන විට අපට ශාඛා සමිති තිබුණේ නැහැ. ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තිබුණෙත් නැහැ. දැන් තමයි එම කටයුතු සිද්ධ කරන්නේ.

මේ ආණ්ඩුවට එරෙහිව විකල්ප වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න නම් අපට සංවිධාන ජාලයක් රටපුරා තිබිය යුතුයි. අපි මේ වනවිට උතුරු නැඟෙනහිර ඇතුළුව රට පුරාම අපේ සංවිධාන කටයුතු කරමින් සිටිනවා. මෙම සති අන්තයේ දී අපේ මන්ත‍්‍රීවරුන් 10 ක් පමණ සම්බන්ධ කරගෙන බේරුවල සියලූ ශාඛා සමිති හදනවා. එම කටයුත්ත ලංකාව පුරාම සිද්ධ වෙනවා.

සමහර ස්ථානවල විශාල රැස්වීම් පවත්වන ලෙසට ඉල්ලීම් තිබෙනවා. අරියාලේ තිබුණේ එබඳු රැස්වීමක්. එබඳු රැස්වීම්වලට සජිත් පේ‍්‍රමදාස මහතාත්, අපත් සහභාගි වෙනවා. ඒ ආකාරයට මේ වනවිට අපි විශාල ප‍්‍රචාරාත්මක සහ සංවිධාන වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිනවා.

ප‍්‍රශ්නය – ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව පැවසෙනවා. සමගි ජන බලවේගය ඊට සූදානම්ද?

පිළිතුර – මට තිබෙන දේශපාලන අවබෝධය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වුවත් පළාත් සභා මැතිවරණය පැවැත්වුවත් ආණ්ඩුව පරාජයට පත් වෙනවා. එම පරාජය ඉදිරි මැතිවරණ සඳහා බලපානවා.

මහමැතිවරණයක් තිබ්බත් ආණ්ඩුව පරාජය වෙනවා. එම මැතිවරණයකින් පසුව අපි ආණ්ඩුව පිහිටෙව්වත් මෙම ජනාධිපතිවරයා තවදුරටත් බලයේ සිටිනවා. එම තත්ත්වය තුළ වසර දෙකක පමණ කාලයක් අපට විරුද්ධ පක්‍ෂයේ ජනාධිපතිවරයකු සමග කටයුතු කිරීමට සිද්ධ වෙනවා. එම කාලය තුළ ජනාධිපතිවරයාට අපේ කකුලෙන් ඇදීමේ හැකියාව පවතිනවා. එසේ නොමැතිව ජනාධිපතිවරයා අපත් සමඟෙ හොඳින් කටයුතු කළහොත් ජනාධිපතිවරයා සමග අපට තවදුරටත් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඔවුන්ගේ වැරදි ක‍්‍රියාමාර්ග වෙනස් කිරීමේ හැකියාව අපට නොමැති වෙනවා. ජනාධිපතිතුමා හොඳින් කටයුතු කරන විට රට තුළ මතයක් ඇතිවේවි, ඇයි ආණ්ඩුව ඔහුට ප‍්‍රශ්න ඇති කරන්නේ කියලා.

රාජපක්‍ෂවරුන්ට ආණ්ඩුවක් අවශ්‍ය වුයේ රට හදන්න නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුයේ තිබුණ නඩුවලින් නිදහස් වීමටයි. ඉතා ඉක්මනින් හම්බ කර ගැනීමයි. එම කටයුතු දෙකම ඔවුන් මේ වන විට ඉටුකර ගනිමින් සිටිනවා. එම නිසා තමයි ඔවුන්ට රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් නොමැති වුයේ

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන්නේ ඉදිරියේදී මහමැතිවරණයක් පවත්වන බවද?

පිළිතුර – මේ ආණ්ඩුවට තිබෙන වාසිදායකම ඡන්දය තමයි මහමැතිවරණය. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා රැල්ලට ආපු නවක මන්ත‍්‍රීවරු ඡන්දය දෙයිද කියලා සැකයක් තිබෙනවා. මොකද ඔවුන් දන්නවා ආණ්ඩුව තුළ තිබෙන දුර්වලතා සහ හැප්පිලි පිළිබඳව. එම තත්ත්වය තුළ රැල්ලට ආපු අය සේදීලා යන බව ඔවුන් දන්නවා. එම නිසා තමයි ඔවුන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ඡන්දය දේවිද යන සැකය මතුවන්නේ. ඔවුන් ඡන්දය ලබා නොදුන්නත් තමන්ගේ බලතල යොදාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිතුමාට පුළුවන්.

ප‍්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගය තුළ තරගයක් පවතින බව වාර්තා වෙනවා. ඔබ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සඳහා කටයුතු කරන බව සමහරුන් ප‍්‍රකාශ කරනවා. එම ප‍්‍රකාශයන් පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – සමගි ජන බලවේගයේ නායකයා වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා. ඒ වගේම විපක්‍ෂ නායකතුමා වන්නෙත් ඒ මහතා. ජනතාව අපේක්‍ෂා කරන විකල්ප නායකයා වන්නේ ඒ මහතා තමයි. එම තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් වන එක ගැන කිසිම ගැටලූවක් නැහැ. වෙනත් පුද්ගලයන් ගැන සඳහන් කරන්නේ මාධ්‍යයෙන් තමයි. ආණ්ඩුවත් විවිධ ප‍්‍රචාරයන් ගෙනයනවා.

ප‍්‍රශ්නය – චම්පික රණවක මහතා ‘43 වන සේනාංකය’ නම් සංවිධානයක් පිහිටුවාගෙන ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් වන බව පැවසෙනවා.

ඔබගේ එබඳු සූදානමක් නොමැති බව ද පවසන්නේ.

පිළිතුර – නැහැ, මම සෑම දාම කටයුතු කළේ පක්‍ෂ නායකයා සහ පක්‍ෂය සමග. පසුගිය ආණ්ඩුවේ මට අගමැතිකම දෙන්නම් කියලා තියෙද්දිත් පක්‍ෂ නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟෙ මම කටයුතු කළා.

වෙනත් අයගේ නම් යම් යම් බලාපොරොත්තු තිබෙනවා. බලාපොරොත්තු තිබුණයි කියල, සංවිධාන ගොඩනැ`ගුව කියල ඒවා සාර්ථක වෙන්නේ නැහැ. ජනතාව බලනවා මේ ආණ්ඩුව පෙරලනවා නම් ඒ සඳහා තිබෙන ශක්තිමත්ම බලවේගය කුමක්ද කියලා. ඒ සඳහා සමගි ජන බලවේගය හැර වෙන බලවේගයක් නෑ.

ප‍්‍රශ්නය – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. එම ප‍්‍රහාරය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම සඳහා එල්ල කළ එකක් බවට මත පළවී තිබෙනවා.

එම මතය පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – 2005 සිට 2015 දක්වා මේ අය කිව්වේ ඔය කතාව තමයි. එම කාලයේ දී සිදු කළ පහරදීම් ඝාතන පිළිබඳවත් ඔය කතාවම තමයි කිව්වේ. නමුත් එම ආණ්ඩුවෙන් තමයි එම කටයුතු කළේ.

ආණ්ඩුව ප‍්‍රකාශ කරන ආකාරයේ කටයුතු සිද්ධ වෙලා තිබෙනවා නම් ආණ්ඩුව ඒ සඳහා දඬුවම් ලබාදිය යුතුයි. කුමන්ත‍්‍රණ කරන බව කියනවා. නමුත් සොයාන්නේ නැහැ. මේ සිදුවීමේදීත් කියන්නේ ඒ කතාවම තමයි.

මේ ආණ්ඩුවට මීට වඩා බරපතළ සිදුවීම් පිළිබඳව සොයා බලන්න පුළුවන් නම් ඇයි චමුදිතගේ නිවසට පහරදීම පිළිබඳව සොයන්න බැරි. ඔය වගේ පහරදීම් හැර අනෙක් සිදුවිම් ලංකාවේ පොලිසිය සොයාගෙන තිබෙනවානේ. සොයාගෙන නැත්තේ ආණ්ඩුවේ වුවමනාවට සිදුකරන ලද දේශපාලන පැහැරගැනීම්, ඝාතන සහ අතුරුදන් කිරීම් පමණයි. අනෙක් සෑම සිදුවීමක්ම ලංකාවේ පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙම පහරදීමත් සොයාගැනීමට නොහැකි වුවහොත් එයත් ආණ්ඩුවේ වැඩක් තමයි.

ප‍්‍රශ්නය – ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බවට කළ ප‍්‍රකාශය ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහා කළ එකක් නේද?

පිළිතුර – ආණ්ඩුව බලය පාවිච්චි කරලා එක එක දේවල් කළාට නඩුවෙන් මොකක්ද වෙලා තිබෙන්නේ. එම කාන්තාව තවම වැරදිකාරියක් වෙලා නැහැනේ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment