කොළඹින් ගලෙන්බිඳුණුවැවට ගමන් ගත් ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක ගැටුමක්

76

4ක් අත්අඩංගුවට

මාර්ග බලපත්‍රයක් මුල් කර ගනිමින් ගුටි බැට හුවමාරුවක් ඇති කර ගත් බව කියන කොළඹ පිටකොටුවේ සිට කැකිරාව හරහා ගලෙන්බිඳුණුවැව දක්වා එකම මාර්ගයේ එකම වේලාවට ධාවනය කළ පෞද්ගලික බස් රථයක සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක සේවකයින් සිව් දෙනෙක් කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කැකිරාව යකල්ල මාර්ගයේ කැකිරාව නගරයේ රාජ්‍ය බැංකු ශාඛාවක් අසල දී රාත්‍රී 7.30ට පමණ මෙම ගැටුම හටගෙන ඇති බව කැකිරාව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනවලින් පසු පෞද්ගලික බස් රථය සහ එහි රියැදුරු කොන්දොස්තර සහ බස්රිය සහායකවරයාත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ කොන්දොස්තරවරයාත් කැකිරාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික බස් රථය මාර්ග බලපත්‍රයක් නොමැතිව අදාළ මාර්ගයේ ධාවනය කිරීම සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයේ කොන්දොස්තරවරයා පෞද්ගලික බස්රථයේ කොන්දොස්තරවරයාගෙන් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු දෙපාර්ශ්වය අතර මෙම ගැටුම හටගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මඩාටුගම, කැකිරාව සහ එප්පාවල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳ කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment