ගාලුමුවදොර ප්‍රහාරයට දේශබන්දුට නඩු පවරනු බැහැ – අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝග

240

පසුගිය මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර පිටියේ රැස්ව සිටි නිරායුධ අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවල සැකකරුවකු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කිරීම, ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම පෙත්සම් විභාගය අවසන් වනතුරු වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (24 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩුවල සැකකරුවකු ලෙස ඔහු නම්කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගවල පිටපත් වහාම කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු වැඩිදුරටත් නියෝග කළහ.

එම පෙත්සම ලබන 10 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළ විනිසුරු මඬුල්ල, එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිනි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාලනී දිසානායක හා නීතිපතිවරයා වෙත නොතිසි යැවීමට ද නියෝග කළේය.

සිය සේවාදායකයා එම පහරදීම්වලට අදාළ නඩුවල සැකකරුවකු ලෙස නම්කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම යුක්තිසහගත නොවන බව පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය. නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නීතිඥ ටිරාන් ඇන්කටල් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment