කටුනායකදී ඇල්ලූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට ඇප – පොලිසිය දර්ශන ඇල්ලුවේ කොළේ වහලා

452

සීඅයිඩී ඉල්ලීම ඉවතට
බුද්ධි තොරතුරු මත ඇල්ලුවැයි කීම උසාවිය නොමඟ යැවීමක් – නීතිඥ
මාස 8කට පසු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න ඉල්ලීම සාධාරණද? – විනිසුරු සීඅයිඩීයෙන් අසයි

පසුගිය වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අරලියගහ මන්දිරයේ සිට ගාලුමුවදොර අරගල භූමියට කඩාවැදී අරගලකරුවන්ට පහරදීමෙන් පසුව යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ මහජන සාමය කඩවන ආකාරයෙන් අදහස් දැක්වූයේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06 දා) නියෝග කළේය.

ඩුබායි රටට පලාගොස් සැඟවී සිටි එම සැකකරු රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ලද තොරතුරු අනුව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන්වී නොමැති බැවින් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ අධිකරණය නොමඟ යැවීම සඳහා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු බවත් පොලිසිය කළ දැනුම්දීම මත පසුගිය මැයි 31 වැනිදා පෙනී සිටි සිය සේවාදායකයා ඒ පිළිබඳ ප්‍රකාශ ලබාදී මාස 07 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ගතකළත් යළි කිසිදු කැඳවීමක් නොලැබුණ නිසා පෙර සැලසුම් කළ පරිදි මාස දෙකක සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යයට ගිය පසු පසුගිය ජනවාරි 19 වැනිදා ඔහුගේ දෙමාපියන් පදිංචි නිවසට පැමිණි පොලිසියෙන් යැයි කියාගත් පිරිසක් ලිපි ශීර්ෂයක් නොමැති ලිපියක් මගින් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එවා තිබූ බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණය හමුවේ පැවසීය.

පොලිසියේ යැයි කියාගත් පිරිස භාරදුන් එම ලිපිය පිළිබඳ දැනගත් සිය සේවාදායකයා 2023.02.05 වැනිදා රාත්‍රි 9.55 ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ගුවන් යානයේ අංකය සහිතව පොලිසියට දැනුම් දී ඇති බවත් ඔහු ලබාදුන් තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවසීම සම්පූර්ණයෙන්ම අධිකරණය නොමඟ හැරීමක් වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා මහජන කැළඹීමක් ඇතිවන ආකාරයෙන් හෝ පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වැරදි ක්‍රියාවක් සිදුකර ඇතැයි ද නීතිඥ මල්දිනි හේරත්, තාරුක හීන්කෙන්ද, දිනුෂ් රන්දෙණිය යන නීතිඥ මණ්ඩලය සමග සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මහෙස්ත්‍රාත්වරයාට පෙන්වා දුන්නේය.

එම නඩුව ලබන මැයි 17 වැනිදා දක්වා කල්තැබිණි. මැයි 9 වැනිදා සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් මැයි 31 වැනිදා ප්‍රකාශ ලබාදී තිබියදීත් මාස අටකට පසුව අත්අඩංගුවට ගෙන ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව පවසා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඉල්ලීම සාධාරණ ඉල්ලීමක්දැයි මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment