ධනුෂ්කගේ නඩු තීන්දුව 28 වැනිදා

274

ඔස්ට්‍රේලියාවේදී පැවති 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටියදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දින 04 ක් පුරා සාක්ෂි විමසීම් සහ විත්ති වාචික කැඳවීම සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයේදී සිදුකෙරුණු අතර ඊයේ (21 වැනිදා) දිනයේ දී නඩු විභාගය අවසන් කෙරිණි.

ධනුෂ්ක ට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණු අතර ඉන් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු විමර්ශන අංශ පියවර ගෙන තිබුණි.

එහෙත් අනෙක් පාර්ශ්වයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාවට අදාළව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව මෙම නඩු විභාගය සිදු කෙරිණි.

ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශ්වයෙන් නීතිඥ මුරුගන් තංගරාජ් නඩුව සඳහා ඉදිරිපත් වූ අතර ඔහු අධිකරණයේදී අවධාරණය කරමින් කියා සිටියේ මෙම චෝදනා මුළුමනින්ම අසත්‍ය බවයි.

එසේම සිය සේවාදායකයාගේ චරිතයට හානියක් කිරීමේ අරමුණින් ගොතන ලද පැමිණිල්ලක් බවටත් නීතිඥ මුරුගන් තංගරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

අදාළ තරුණියගේ පාර්ශ්වය එම මතය බැහැර කළ අතර මෙම සිදුවීම හමුවේ ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවට කරුණු ඉදිරිපත් විණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment