ක්‍රිස්තු වර්ෂ 2200 – (කියවා බලාම අරුත දැනගන්න)

1051

අපේ රටේ පොලිසිය මෙදා සැරේ පාතාලයන්ට සහ කුඩ්ඩන්ට ගේම දෙන්නේ ලංකා ඉතිහාසයේ කිසිදු යුගයක සිදු නොකළ විලසිනි. පාතාලය සහ කුඩු මැඬීමේ පොලිස් මෙහෙයුම යුක්තිය යන නමින් හැඳින්වුවද පොලිසිය එම යුක්තිය පසිඳලන්නේ බරපතළ වගකීමක් සේ සලකාය. ප්‍රභාකරන්ගෙන් පසු යාපනේ පහළ වූ දරුණුම පාතාල නායකයා වන කවුඩිකන් පසුගියදා වලානේ දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. 25 හැවිරිදි තරුණයකු වූ හෙතෙම යාපනය බියෙන් සලිත කළ ආවා කල්ලියේ වර්තමාන නායකයාය. ආවා කල්ලිය මනුෂ්‍ය ඝාතන සඳහා තුවක්කු පාවිච්චි කරන්නේ ඉතාම කලාතුරකිනි. තුවක්කුව වෙනුවට ඔවුහු අඩි 4 ක් පමණ දික්වූ, අගින් වක්වූ වක් පිහියක ස්වරූපයේ කඩුවක් පාවිච්චි කරයි. මේ කල්ලිය වෙඩිල්ලක් පත්තු කරන්නේ බැරිම තැනකදීය. මෙයට අවුරුදු 50 කට පමණ පෙර කාම්බෝජය නමැති රට ලෙයින් තෙත් කළ අන්ත වාමවාදී කොමියුනිස්ට් කල්ලියක් වූ කෙමරුජ් සංවිධානයද රට වැසියන් ඝාතනය කිරීම සඳහා කඩු පාවිච්චි කළ ත්‍රස්ත සංවිධානයකි. අපරාධකාරයකු කඩුවක් යොදාගෙන මිනිහකු මරන්නේ තාක්ෂණික වාසි දෙකක් සලකාය. එයින් පළමුවන වාසිය නම් පතරොමක් පත්තු කිරීමෙන් සිදුවන පිරිවැය නැති කිරීමය. ඊළඟ කාරණය වන්නේ වෙඩිල්ලක් තබන විට එම ශබ්දය කඩුවකින් කෙටීමේදී නොනැගීමය. තුවක්කු හඬක් නැගුනු විට ජනයා කලබල වේ. එමගින් තුවක්කු හඬ ඇසෙන මානයේ පිහිටි හැමතැනක්ම ක්ෂණික අපරාධ ස්ථානයක් බවට පත්වේ. එහෙත් කඩුවකින් කෙටීමේදී අවම හඬක් සහ අවම විලාපයක් ඇතිවීම නිසා අපරාධ ස්ථානයේ වපසරිය සීමා වෙයි. අපට හිතෙන පරිදි ඉතාම හොඳට යුක්තිය ඉටුකරන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩබලන කෑල්ල හැලී පොලිස්පති කෑල්ල පමණක් ඉතිරිවන දවස ඉතා කිට්ටුය. හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පවා අවුරුදු තුනක්ම වැඩබලන පොලිස්පති ලෙස වැඩ කළේය. ඔහු පොලිස්පති බවට පත්වන්නේ ඉන්පසුය. ඒ නිසා වැඩ බලන කෑල්ල ගැන දුක්වීමට කිසිදු කාරණාවක් දේශබන්දුට නැත.

මේ අතර ඉතා වැදගත් විදෙස් පුවතක් අපට හමුවිය. ඒ පුවත කෙටියෙන් මෙසේය. දකුණු කොරියාවේ මහ ඡන්දයට තව ඇත්තේ මාස දෙක තුනක් පමණි. එසේ තිබියදී ඇමරිකන් පාස්ටර් කෙනෙක් දකුණු කොරියානු ජනාධිපතිතුමාගේ ආර්යාවට වටිනා අත් බෑගයක් තෑගි දුන්නේය. දකුණු කොරියාවේ නීතියට අනුව රාජ්‍යය නායකයා හෝ ඔහුගේ පවුලේ අයත්, උසස් දේශපාලන තනතුරු දරන අයත් පිටස්තර අයගෙන් තෑගි භාරගැනීමේදී කිසියම් සීමාවකට යටත්ව එය කළ යුතුය. පාස්ටර්තුමා ජනාධිපති ආර්යාවට දුන් අත් බෑගය Christian Dior සන්නාමය සහිත රුපියල් දස ලක්ෂයක් පමණ වූ කිරි කිරි භාණ්ඩයකි. දකුණු කොරියාවේ නීතියට අනුව ඒ තරම් ලොකු මුදලක් වටිනා තෑග්ගක් භාරගැනීමට ජනාධිපති ආර්යාවට නොහැක. දැන් මේ කාරණය අල්ලාගෙන ඒ රටේ විරුද්ධ පක්ෂයත් සිවිල් සමාජයත් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන දෙකත් ඉතා දීර්ඝ සහ බලගතු නැටුමක් නටන්නට පටන්ගෙන තිබේ. මෙය ජනාධිපතිතුමාගේ නායකත්වය සහිත දේශපාලන පක්ෂයට ඉතාම අවාසිදායකය. මේ අතින් බලන විට අපට කිසියම් අස්වැසිල්ලක් දැනේ. අපට සිටින ජනාධිපති ආර්යාව ඉතා සරල සහ සාමාන්‍ය කාන්තාවකි. වෘත්තියෙන් මහාචාර්යවරියක වන ඇය නගරයෙන් බොහෝ ඈත විශ්ව විද්‍යාලයක ආරාධිත දේශනයකට යන විට දුම්රියෙන් ගමන් කිරීමට ඉතා කැමැතිය. පොලිස් ආරක්ෂක රථ පිරිවරාගෙන බෙන්ස් රථයක ගමන් කිරීමට ඇය කිසි විටකත් කැමති නැත. සමහරවිට යාපනය සරසවියේ දේශනයකට යන ඇය දුම්රියෙන් යාපනයට ගොස් ස්ටේෂන් එකෙන් බැස සිය කුඩයත් ඉහලාගෙන පයින්ම නගරයට ගොස් වාහනයක් අල්ලාගෙන විශ්වවිද්‍යාලය බලා යෑමට කැමති වනවා ඇත. අප දන්නා පරිදි ඇය කාගෙන්වත් කිසිම තෑග්ගක් භාර නොගනී. එවැනි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යමින් බෙල්ල බේරාගෙන සිටීම ඉතා දුෂ්කරය. අන්ත පරිහානියට පත් වෙළෙඳ සමාජයක් පවත්නා ලංකාව වැනි කසඩ රටක පගා දෙන්නන්ගෙන් බේරී සිටීම ඉතාම අමාරුය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ තිබෙන දූෂණ සහ වංචා විගණකාධිපති ඉදිරියේදී පසුගියදා හෙළිදරව් විය. මේ මගින් ක්‍රිකට්වල ප්‍රතිරූපය මෙන්ම රටේ ප්‍රතිරූපයද මකබෑවිය. සීනි බද්ද නිසා වංචනික ලෙස මුදල් ඉපයූ මුදලාලිලා රැසක් අදටත් නිදහසේ සිටිති. ඔවුහු පෙබරවාරි 4 දා පමණක් නොව අවුරුද්දේ ඉතිරි සියලුම දවස්වල නිදහස් සුවය භුක්ති විඳිති. සීනි වංචනිකයන්ගේ බදු පැහැර හැරීම බැලන්ස් කරගැනීමට අපේ බද්දට තවත් ටිකක් එකතු කිරීමට ආණ්ඩුවට සිදුවී යැයි අපි විශ්වාස කරමු. සෞඛ්‍ය අමාත්‍යාංශය යනු දූෂණය නමැති සංකල්පය ලංකාවට ගෙනා නැව හා සමාන තැනකි. අද හිටපු සෞඛ්‍ය ඇමැතිතුමා ඇතුළේය. දූෂිත ගෝල පිරිසද එකා බැගින් ඇතුළට යනවා ඇත. දූෂණවලට සහ දූෂිතයන්ට එරෙහි නීතිය ඇහැට පෙනෙන පරිදි ක්‍රියාත්මක වන රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය. ඉඩම් වංචාවකට චෝදනා ලත් ජර්ඛාන්ඩ් නමැති ඉන්දියානු ප්‍රාන්තයේ මහ ඇමැති හේමන්ත සොරේන් දැනට සිටින්නේ රිමාන්ඩ් එකේය. 2014 දී තමිල්නාඩුවේ මහා ඇමැති ජයලලිතා එරට දූෂණ හා වංචා වැළැක්වීමේ පනත යටතේ අවුරුදු 4 ට හිරේ යැවීමත් ඉන්දියානු රුපියල් බිලියනයක වන්දියකට යටත් කිරීමත් සිදුවිය. ඉකුත් මාසයේදී සිංගප්පූරුවේ ප්‍රවාහන ඇමැතිතුමා තනතුරින් ඉල්ලා අස්විය. එයට හේතුව ඔහු වංචා චෝදනාවකට ලක්වීමය. සිංගප්පූරුව යනු දූෂණ වංචාවලට දැඩි දඬුවම් දෙන රටකි. ඉදිරියේදී වංචාවක් කරන හැටි හිතන අය පවා අල්ලා ගැනීමට පුළුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණයක් මේ රටේ විද්‍යාඥයන් සාදනු ඇත්ද යන සැකය අප තුළ තිබේ. ලංකාව දූෂණයෙන් විනිර්මුක්ත රටක් වනු ඇත්තේ කවදාදැයි අපට දැනට හරියටම කීමට නුපුළුවන. සමහරවිට ක්‍රිස්තු වර්ෂ 2200 දී පමණ එවැන්නක් සිදුවීමට ඉඩ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment