ට්‍රිලියන 6 න් 3.5 ක් EPF – ETF සහ විශ්‍රාමික අරමුදල්: බැංකු පද්ධතියට මහජන තැන්පතුවලට බලපෑමක් වන්න ඉඩ තබන්නේ නැහැ- ආර්ථික ලොක්කෝ දිවුරති

5073

අර්ථසාධකයට 9% පොලිය සහතිකයි

අයින් වුණොත් බද්ද 14% සිට 30% දක්වා වැඩිවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇති පරිදි රු. ට්‍රිලියන හයක පමණ මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 19.8 ක) දේශීය ණයවලින් ප්‍රශස්තකරණයට ලක් කෙරෙන අතර ඉන් රු. ට්‍රිලියන 3.5 ක පමණ මුදලක් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ විශ්‍රාමික අරමුදල් විසින් රජයට ලබාදුන් ණය මුදල් වන බව ඊයේ (29දා) උදේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

මේ දේශීය ණය ප්‍රශස්තකරණය බැංකු අංශය අතහැර සිදුකරන බැවින් ඉන් බැංකුවලට හෝ මහජන මුදල් තැන්පතුවලට කිසිදු බලපෑමක් සිදුනොවන බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මේ අනුව දේශීය ණය ප්‍රශස්තකරණයට ලක්වනු ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්, සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල, විශ්‍රාමික අරමුදල්, ශ්‍රීලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශීය විනිමය බැංකු ඒකක මගින් රජයට ලබාදී ඇති ණය මුදල් බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මෙම යෝජනාව මගින් සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් ශේෂයට කිසිදු බලපෑමක් සිදුනොවන බවත් වාර්ෂිකව ඒ සඳහා සියයට 9 ක පොලියක් ලබාදීම සහතික කරන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ ණය ප්‍රශස්තකරණය මගින් අදාළ ණය මුදල් දිගුකාලීන බැඳුම්කරවලට පරිවර්තනය කෙරෙන බවත් ඒ අනුව අදාළ බැඳුම්කර හුවමාරුව ලබන අඟහරුවාදා (ජූලි 04) දින සිදුවන බවත් මේ කටයුතු ජූලි මාසය තුළ සිදුකර අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ ණය ප්‍රශස්තකරණ යෝජනාව අනුව මහජන මුදල් තැන්පතු භාර ගන්නා ආයතනවලට කිසිදු බලපෑමක් නොවන බවද පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යෑමේදී ඔවුන්ට තම අවසන් අර්ථසාධක අරමුදල් ශේෂය ලබාගැනීමටද බාධාවක් නොවන බවද ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මෙම ණය ප්‍රශස්තකරණයට අකමැති නම් ඊට සම්බන්ධ නොවීමට ද රජයට ණය මුදල් ලබාදී ඇති අරමුදල්වලට හැකිවන අතර එසේ වුවහොත් එම අරමුදල් විසින් රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා ඉහළ යන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. මෙහිදී කතා කළ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ රට මුහුණදී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා මේ ණය ප්‍රශස්තකරණය සිදුකළ යුතුම බවත් රට මුහුණදී සිටින අභියෝගය තවමත් අවසන්ව නොමැති බවත්ය.

ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න මහතා ද මෙහිදී කතා කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment