තොරතුරු ලබානොදීම: මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි

121

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අවශ්‍ය නිසි පියවර නොගෙන රාජකාරි වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන්ගේ තොරතුරු එක් පාර්ශ්වයක් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී සිය දෙපාර්තමේන්තුවේ එම තොරතුරු නැතැයි ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (11 දා) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි නිකුත් කළේය.

සමාජීය සහ සාමයික කේන්ද්‍රය වෙනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා එම නියෝගය කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේ යැයි කියන පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එවනු ලැබූ බව මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතා 2021 ජුනි මස මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කොට තිබිණි. එම නිලධාරීන් වෙත අදාළ චෝදනා පත්‍ර ලබා නොදෙන ලෙසට එවකට සිටි පොලිස්පතිවරයා ලිඛිතව ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වීම නිසා ඒ සම්බන්ධයෙන් වන ලියැවිලි තමාට ලබාදෙන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කොට තිබිණි. එම තොරතුරු පුද්ගලිකත්වයට සම්බන්ධ තොරතුරු නිසා පනතේ ප්‍රතිපාදන අනුව ලබාදිය නොහැකි බව පවසමින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය ඒවා ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බවත් එම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව තමන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත් පෙත්සම්කාර මාධ්‍යවේදී සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට කියා තිබිණි. තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව විසින් නිසි තොරතුරු සොයා බැලීමකින් තොරව සිය ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එබැවින් එකී තීන්දුව අහෝසි කරන ලෙසත් පෙත්සම්කාර තරිඳු ජයවර්ධන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි. නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ඩී. පෙරේරා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment