සූරිගේ සවියෙන් එමීරයේ තරුණයෝ ශ්‍රී ලංකාව පරදවති

3935

ටනිෂ් සූරි ප්‍රමුඛ පිතිකරුවන්ගේ දක්ෂතාව මත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම ඊයේ (11 වැනිදා ) සමත් වූයේය.

ආසියානු කුසලාන යොවුන් එක්දින තරගාවලියේ හත්වන තරගය ලෙස ඩුබායි හි පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් ලබාගත් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

ජයග්‍රාහී එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අංක 3 පිතිකරු ටනිෂ් සූරි පන්දු 88 කදී 6 පහර 3 ක් සහ 4 පහර 4 ක් සමග ලකුණු 75 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම් ගරුක සන්කෙත් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන දීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වූ ලකුණු ප්‍රමාණය ඊට ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර තියුණු පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ කඩුලු දෙක ලකුණු 49ක් වනවිට ඔවුහු දවා ගත්හ.

අනතුරුව නායක සිනෙත් ජයවර්ධන සහ පුළිඳු පෙරේරා තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 63ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49 දී දුවද්දී දැවී යෑමකට හසුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනුර කළුපහණ ලකුණු 58ක් රැස් කළේය. රසුන්ද ගමගේ ලකුණු 26ක්, විශ්ව ලහිරු නොදැවී ලකුණු 23ක් ලැබුවේය. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 50 තුළ දී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 220ක් පමණි. කඩුළු 09ක් දැවී ගියේය. ඔමිඩ් රහ්මාන් කඩුළු 02ක්, ආයන් අෆ්සාල් ඛාන් කඩුළු 02ක්, අයිමන් අමඩ්, දෘව් පරාෂා, හරිදික් පාල් එක් කඩුල්ල බැගින් ලැබූහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 220/9 (50)

දිනුර කළුපහණ 58, සිනෙත් ජයවර්ධන 49, රසුන්ද ගමගේ 26, විශ්ව ලහිරු නොදැවී ලකුණු 23

පන්දු යැවීම

ඔමිඩ් රහ්මාන් 48/2, ආයන් අෆ්සාල් ඛාන් 38/2

එක්සත් අරාබි එමීර් 224/8 (48.2)

ටනිෂ් සූරි 75, ආයන් අෆ්සල් ඛාන් 33

පන්දු යැවීම

ගරුක සන්කෙත් 35/3, විශ්ව ලහිරු 28/2, විහස් තෙව්මික 48/1, දුවිදු රණතුංග 40/1, මල්ෂ තරුපති 52/1

advertistmentadvertistment
advertistmentadvertistment