එක්දින තරගයෙන් ද රාජකීය විදුහල ජය ගනී

99

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ පැවති 46 වන එක් දින මහා තරගයෙන් කඩුලු 07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය ඊයේ (24 වැනිදා) සමත් වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තෝරාගත් ශාන්ත තෝමස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 165ක් රැස් කළ අතර කොළඹ රාජකීය විදුහල කඩුලු 3ක් දැවී පන්දු වාර 37 කදී එම ඉලක්ක සපුරා ගත්හ.

කොළඹ රාජකීය විදුහලේ ආරම්භක පිතිකරු යුගලයෙන් එක් අයෙක් වූ රෙහාන් පීරිස් හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 107ක දී නොදැවී ලකුණු 69ක් ලැබුවේය.

උවිදු වීරසේකර පන්දු 68ක දී ලකුණු 50ක් වාර්තා කළේ හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමගිනි.

මහා තරගයේ දී රාජකීය පිලට ජයග්‍රහණයක පදනම දැමූ මැද පෙළ පිතිකරු රාජකීය නායක දසිස් මංචනායක පන්දු 28ක් තුළ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 26ක් වාර්තා කළේය. ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් ප්‍රනාන්දු සහ අශේන් පෙරේරා කඩුල්ල බැගින් වාර්තා කළ අතර රාජකීය ක්‍රීඩකයෝ පන්දු ඕවර 37ක දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියහ.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ පිතිකරුවා වූ ආරම්භක පිතිකරු සේනාධි බුලන්කුලම ලකුණු 66ක් ලැබූ අතර ඊට හතරේ පහර 06ක් එල්ල කරමින් තම ඉනිම අලංකාර කර ගත්තේය. ශාන්ත තෝමස් විදුහලේ එක පිට එක කඩුලු බිඳ වැටෙද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ඔහු පන්දු 133කට මුහුණ දුන් අතර ඔහුට සටන් සගයෙක් ඉතිරි වූයේ නැත.

මැදපෙළ පිතිකරු මහිත් පෙරේරා පන්දු 37ක දී ලකුණු 28ක් ලැබුවේය. අකාශ් ප්‍රනාන්දු සහ සෙනෙත් හෙට්ටිආරච්චි ලකුණු 12 බැගින් ලැබූහ. රාජකීය පන්දු යවන්නන් අතරින් බුලන් වීරතුංග ඕවර 08ක් යවා ලකුණු 24කට කඩුලු 02ක් ලැබුවේය. අනුෂ් පොලොන්නෝවිට ඕවර 10ක් යවා ලකුණු 23කට කඩුල්ලක් ලැබුවේය. සන්දේෂ් රාමනායක ඕවර 08ක් යවා ලකුණු 34කට කඩුලු 02ක්, නායක දසිස් මංචනායක පන්දු ඕවර 9.2ක් යවා ලකුණු 25කට කඩුලු 2ක් ලැබුවේය.

රනුක මලවිආරච්චි, රමිරු පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment