ඩුබායිවලදී අල්ලපු පාතාලයේ ‘හරක් කටා’ ලංකාවට ගේන ක්‍රමය

740

උදර්පණ නීතිය යටතේ ගෙනා අපරාධකරුවන් සැකකරුවන් බොහෝය

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දරුණු අපරාධ රැල්ලක් වර්ධනය වෙමින් පවතී. මෙලෙස වර්ධනය වන අපරාධ රැල්ලේ මධ්‍ය ලක්ෂ්‍යය කොට සැලකිය හැක්කේ දිනපතා වාර්තා වන වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධීන් දාම යයි. 2022 ජනවාරි මස පළමුවන දින සිට අගෝස්තු 8 වැනි දින දක්වා මෙලෙස වාර්තාවූ ඝාතන සිද්ධින් සංඛ්‍යාව 35 ක් තරම් ඉහළ අගයක් දරයි. මෙම මනුෂ්‍ය ඝාතන සිද්ධීන්වල පසුබිම පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ මෙම ඝාතන සිද්ධීන් බහුතරයක් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක ව සිටින “පාතාල අපරාධ කල්ලි” නොහොත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන බවය. මෙම කල්ලිවල ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. මෙම අපරාධ කල්ලිවල නායකයන් මෙන්ම මහමොළකරුවන් ලෙස සැලකෙන බහුතරයක් අපරාධකරුවන් මේ වන විට විදේශ රටවල සැඟවී සිටිමින් මෙම අපරාධ මෙහෙයවීම් සිදුකරමින් සිටින බවද වාර්තා වේ. මෙම අපරාධ කල්ලි නායකයන් අතර “වැලිගම හරක් කටා”, “ගනේමුල්ල සංජීව” කොච්චිකඩේ බුම්මා සහ කන්නා සොහොයුරන්ගේ නම් ඉදිරියෙන්ම කියැවේ. ජනමාධ්‍ය මගින් මෙම තොරතුරු දකින සාමාන්‍යයෙන් මහජනතාව වෙත ඇති වන ප්‍රබලම ප්‍රශ්නයක් වන්නේ මෙලෙස ක්‍රියාත්මක ව සිටින අපරාධකරුවන් සැඟවී සිටින රටවල ස්ථානයන් සම්බන්ධව බුද්ධි තොරතුරු ලබාගෙන අදාළ රටවල බලධාරීන් සමඟ සහයෝගයෙන් මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට ක්‍රියාකිරීම රජය පැහැර හරිමින් සිටින්නේ කුමක් නිසාද යන්නයි.

යම් රටක අපරාධයක් සිදුකර වෙනත් රටකට පලා ගොස් සැඟවී සිටින අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර නැවත එම අපරාධය සිදු කළ රටට භාරදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රියාත්මක වන නීතියක් ඇති අතර එම නීතිය උදර්පණ නීතිය නොහොත් (extradition law) ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාව ද 1977 පෙබරවාරි මස 18 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි 1973 අංක 8 දරන උදර්පණ පනත මගින් මෙම නීතිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් දේශීය නීති පද්ධතියට එක්කර ඇත.

මෙම උදර්පණ නීතිය කොටස් දෙකකින් ක්‍රියාත්මක වේ. එනම් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් අතර සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් නොවන වෙනත් රටවල් ලෙසය. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් බහුතරයක් රටවල්වල නීති පද්ධතියේ මූලික පදනම වී ඇත්තේ බ්‍රිතාන්‍ය නීතියයි (British Common Law). මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන එක් එක් රටවල් අතර ඇතිකර ගත යුතුයි. නෛතික සම්මුතියකින් තොරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර මෙම උදර්පණ නීතිය ක්‍රියාත්මක කළ හැක. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් නොවන සෙසු රටවල් අතර මෙම නීතිය ක්‍රියාත්මක කළ හැකි වන්නේ එම රටවල් දෙක අතර අත්සන් කරන ජාත්‍යන්තර සම්මුතියක් මගින් පමණි. මේ අනුව යම් අපරාධකරුවකු අපරාධයක් සිදුකර පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටකට පලා ගොස් එහි සැඟවී සිටින අවස්ථාවල එම රට සහ ශ්‍රී ලංකාව අතර උදර්පණ නීතියට අදාළව ජාත්‍යන්තර සම්මුතියක් අත්සන් කර නොතිබුණද එම අපරාධකරු එම රටේ දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමට එම රාජ්‍යයට නෛතික අයිතිවාසිකමක් සහ බලයක් මෙම උදර්පණ නීතිය අනුව හිමි වේ. එහෙත් එම අපරාධකරු සැඟවී සිටින රට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් නොවන රටක් වන විට එම රට සහ ශ්‍රී ලංකාව අතර උදර්පණ නීතියට සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියක් අත්සන් කර නොමැති නම් එම තැනැත්තා අපරාදේ සිදු කළ රටට ආපසු භාර දීමේ හැකියාවක් ඔහු සැඟවී සිටින රට සතුව නොපවතී.

මේ ආකාරයට රටවල් අතර අපරාධකරුවන් භාර දීමේ දී සැලකිය යුතු තවත් සුවිශේෂ තත්ත්වයක් වනුයේ අදාළ පුද්ගලයා විසින් යම් රටක සිදු කර ඇතැයි කියන අපරාධය ඔහු සැඟවී සිටින රටේ අපරාධ නීතිය අනුව වරදක් වන මෙන්ම එම රටේ අපරාධ නීතිය අනුව දඬුවම් කළ හැකි අවස්ථාවක් පවතින්නේ නම් පමණක් අදාළ අපරාධකරු අවශ්‍ය රටට භාරදීමට ඔහු සැඟවී සිටින රට සතු නෛතික වගකීමක් වන බව ය. උදාහරණයක් ලෙස පුරුෂයන් අතර සිදු කෙරෙන අශෝභන ලිංගික ක්‍රියා මෙන්ම සමලිංගික සේවනයද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) දරන වගන්තිය අනුව වසර දෙකක සිර දඬුවමකට යටත් කළ හැකි වරදකි. එහෙත් නෝර්වේ, ස්විඩනය වැනි ස්කැන්ඩිනේවියානු රටවල්වල පුරුෂයන් අතර කෙරෙන විවාහ නීත්‍යානුකූල ලෙස පිළිගන්නා තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුළ එවැනි වරදක් සිදුකර යමෙකු එම වරද වරදක් ලෙස නොසලකන රටක සැඟවී සිටියත් ඔහු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාරදීමට උදර්පණ නීතිය යටතේ ඔහු සැඟවී සිටින රට නීතියෙන් බැඳී නොසිටී.

මෙවැනි තත්ත්වයක් 1980 දශකයේ දී ශ්‍රී ලංකාවේදී ද උද්ගත විය. ඔස්ට්‍රේලියාවේදී පරිගණක භාවිතයෙන් විශාල මුදල් වංචාවක් සිදු කළ ශ්‍රී ලාංකිකයකු එම රටෙන් පලා විත් ශ්‍රී ලංකාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලදි. එම අපරාධකරු ආපසු ඔස්ට්‍රේලියාවට උදර්පණය කිරීමේදී ඒ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව තුළ පරිගණක අපරාධ නීතිය නීති පද්ධතියට එක්කර නොමැති බැවින් අපරාධකරු ඔස්ට්‍රේලියාවට උදර්පණය කිරීමට එරෙහිව ඔහුගේ නීතිඥයන් විශාල ලෙස කරුණු දක්වන ලදි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන එම නඩුව විභාග කළ පර්සි කොලින්තෝම් විනිසුරුතුමා විසින් එම පුද්ගලයා ඔස්ට්‍රේලියාවට උදර්පණය කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දී ඇත.

උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී රටවල් දෙකේ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ නිලධාරීන් සහ විදේශීය කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් යන දෙපක්ෂය අතරම ඉතා ශක්තිමත් සම්බන්ධතාවයක් පැවතිය යුතුය. මෙහිදී රටවල් අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්ති මෙන්ම රටවල් අතරේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා ද ඉටු කරන කාර්ය භාරය ඉතා විශාලය. 2006 වර්ෂයේදී මෙම ලියුම්කරු ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “මොහොමඩ් සිද්ධික්” ඇතුළු පස් දෙනෙකු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමග සුඛෝපභෝගී වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටියදී පිළියන්දල කටුවාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි. ඒ අවස්ථාව වන විට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉන්දියාවේ චෙන්නායි හි දී මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවා වරදකරු කරනු ලැබ වසර 20ක සිරදඬුවමක් විඳිමින් සිටියදී ඉන්දියාවේ “සෙයිලම්” බන්ධනාගාරයෙන් පලාවිත් මෙරට සැඟවී සිටි පුද්ගලයකු බවට කරුණු අනාවරණය විය.

මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා පොලීසිය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කරනු ලැබූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුව ඉන්දියානු බලධාරීන් සමග එක්ව මෙම අපරාධකරු ඉන්දියාවට නැවත උදර්පණ පනත යටතේ පිටුවහල් කිරීමට කටයුතු සංවිධානය කළ ද රටවල් දෙක අතර මෙන්ම විශේෂයෙන් ම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නීතිය අතර පැවති හිදැස් හේතුවෙන් මේ වන විටත් මෙම සැකකරු ඉන්දියාවට උදර්පණය කිරීමට අපොහොසත්ව සිටින අතර මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වන විටත් අධිකරණය මගින් ඇප ලබා නැවත නැවත එවැනි චෝදනාවන් යටතේ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකු ලෙසට කටයුතු කිරීම උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපානු ලබන ප්‍රධාන දුර්වලතාවක් ලෙස සැලකිය හැක. එබැවින් උදර්පණ පනත යටතේ අපරාධකරුවකු වෙනත් රටකට භාරදීම නීතිය ඉදිරියේ සැලකෙන්නේ “කන කැස්බෑවා විය සිදුරින් අහස දැකීම” තරම් විරල සිදුවීමක් ලෙස බව සඳහන් කළ යුතුව ඇත.

මෑත ඉතිහාසයේ මෙම ජාත්‍යන්තර නීති කඩතුරාව බිඳ දැමීමේ මුල් ම අවස්ථාව වාර්තා වන්නේ 1960 මැයි මස එකොළොස් වන දින දෙවන ලෝක යුද සමයේ යුදෙව් ජාතිකයන් ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් ඝාතනය කිරීම සම්බන්ධව වගකිව යුතු නාසි යුද අපරාධකරුවකු වූ “ඇඩොල්ෆ් අයික්මාන්” ඊශ්‍රායල් මොසාඩ් ඔත්තුකරුවන් කණ්ඩායමක් විසින් ආජන්ටිනාවේ බුවනෝස්අයර්ස් නගරය අසල දී අත්අඩංගුවට ගෙන ආපසු ඊශ්‍රයාල වෙත රැගෙන ඒමේ සිද්ධියයි.මෙම සිද්ධියට සමානම සිද්ධියක් ශ්‍රී ලංකාව හා සම්බන්ධව 2009 වර්ෂයේදී වාර්තා විය. එම සිද්ධිය වනුයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනයෙන් පසු එල්ටීටීඊ සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ කුමරන් පද්මනාදන් නොහොත් ‘කේපී’ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඉතා රහසිගත ක්‍රමයක් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් මෙන්ම මැලේසියානු බලධාරීන්ද දක්වන ලද දායකත්වයයි. හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී රජීව් ගාන්ධි ඝාතන කුමන්ත්‍රණයට ද සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන ‘කේ පී’ ඉන්දියාවේ Raw ඇමරිකානු CIA මෙන්ම බ්‍රිතාන්‍ය MI 5 චරපුරුෂ සේවාවන් ද අවශ්‍ය පුද්ගලයකු ලෙස සොයමින් සිටියදී එම සැකකරු ඉතා ආරක්ෂිතව අත්අඩංගුවට ගෙන රහසිගත උපාය මාර්ගයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දක්වන ලද සුවිශේෂ දක්ෂතාවය අප විසින් අගය කළ යුතුය.

1983 මැයි මස 19 වැනි දින ත්‍රස්තවාදී නායකයින් දෙදෙනකු වන වේලුපිල්ලේ ප්‍රභාකරන් හා උමා මහේෂ්වරන් යන දෙදෙනා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය අසල “පොන්ඩිබසාර්” නමැති ස්ථානයේ දී ඉන්දියානු පොලිසිය විසින් වෙඩි තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලදි. එම අපරාධකරුවන් දෙදෙනා උදර්පණ නීතිය යටතේ ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දීය රජයෙන් ප්‍රබල ඉල්ලීමක් කළ ද ඒ අවස්ථාවේදී ඉන්දියාවේ මධ්‍යම රජය සහ ශ්‍රී ලංකාව අතර පැවති දුර්වල විදේශ සම්බන්ධතා හේතුවෙන් එම සැකකරුවන් ශ්‍රී ලංකාවට භාරදීම ඉන්දීය බලධාරීන් ප්‍රතික්ෂේප කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරීමට කටයුතු කරන ලදි. මෙසේ නිදහස් කරන ලද ප්‍රභාකරන්ම ඔහුට එසේ උපකාර කරන ලද ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ පුත් රජිව් ගාන්ධි මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂක සිටියදී 1990 මැයි මස 21 වන දින දකුණු ඉන්දියාවේ ශ්‍රී පෙරුම්බුදූර් හිදී ‘තෙන්නමුරුසි රාජරත්නම්’ නොහොත් ‘ධනු’ නමින් හැඳින්වුණු එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකාරිය ලවා ඝාතනය කිරීම ඉතිහාසයේ නැවත පුනරුච්චාරණය ලෙස සැලකිය හැක.

උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුවන නෛතික ගැටලු මගහරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අපරාධමය සිද්ධීන් සඳහා රටවල් අතර අන්‍යොන්‍ය සහාය වර්ධනය කරගැනීමේ අරමුණින් විශේෂ සම්මුතියක් 2000 වර්ෂයේ දී සම්මත කරගන්නා ලද අතර එම සම්මුතිය අපරාධ සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සහාය දැක්වීමේ සම්මුතිය නොහොත් “mutual legal assistant in criminal matters” හැටියට හඳුන්වනු ලබයි. මෙම සම්මුතිය ආශ්‍රිතව දේශීය නීතිය 2002 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට හඳුන්වා දෙනු ලැබූ අතර එම නෛතික තත්ත්වය උපයෝගී කරගනිමින් පසුගිය කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටි ‘මධුෂ්’ සහ ‘කංජිපානි ඉම්රාන්’ වැනි අපරාධකරුවන් ශ්‍රී ලංකාවට රැගෙන විත් නීතිය හමුවට පැමිණවීමට බලධාරීන් සමත්ව සිටී.

ප්‍රියන්ත ජයකොඩි
අපරාධ බුද්ධි තොරතුරු සහ සංවිධානාත්මක
අපරාධ සම්බන්ධව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

advertistmentadvertistment
advertistmentadvertistment