කරාපිටිය ශික්ෂණ රෝහලේදී මොළය මියගිය රෝගීන්ගේ අවයව ඥාතීන්ගේ කැමැත්තෙන් ලබා ගන්නවා

84

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් මොළය මියගිය රෝගීන්ගේ අවයව මියගිය අයගේ ඥාතීන්ගේ කැමැත්ත මත ලබාගැනීමට කටයුතු කරන බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි.

මීට වසර කිහිපයකට පමණ ඉහතදී කරාපිටිය රෝහලේ දී මොලය මියගිය රෝගීන් කිහිප දෙනකුගේ අවයව මියගිය අයගේ ඥාතීන්ගේ කැමැත්ත මත වෙනත් රෝගීන්ට බද්ධ කිරීම සඳහා ලබාගෙන ඇති බවද හෙතෙම පවසයි. මොලය මියගිය රෝගියකුගේ අවයව වෙනත් රෝගියකුට බද්ධ කිරීම සඳහා ලබා ගැනීමේදී මියගිය රෝගියාගේ මොලය මියගොස් ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු සහතික කළ යුතු අතර පරීක්ෂණ කිහිපයක්ම සිදුකළ යුතු වේ. එමෙන්ම මොලය මියගිය අයගේ ඥාතීන්ද ඒ සඳහා කැමැත්ත ලබාදිය යුතු වේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී රිය අනතුරකට ලක්ව මොලය මියගිය විශ්‍රාමික යුද හමුදා සෙබළකුගේ වකුගඩු දෙක සහ අක්මාව පසුගිය දින කරාපිටිය රෝහලේ වකුගඩු හා අවයව හා බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරු හා කොළඹ ජාතික රෝහලේ අවයව ලබා ගැනීමේ ඒකකයේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් ලබාගත් බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment