මහෙස්ත්‍රාත් අභිමතය පරිදි පුද්ගලයින් ඕනෑම කාලයක් රඳවා ගන්න ගෝඨාභය පැනවූ රෙගුලාසි නීතිය හමුවේ බලරහිතයි

2168

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
පෙත්සම්කරුවන්ට නඩු ගාස්තුත් ගෙවන්නැයි රජයට නියෝගයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන ඕනෑම සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකුගේ අභිමතය පරිදි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර ලබාදීමට බලය පවරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021.03.12 වැනිදා නිකුත් කළ 1/2021 දරන රෙගුලාසි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, නීතිය හමුවේ බලරහිත රෙගුලාසි බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් වූ ගාස්තු ගෙවන ලෙසට ඊයේ (13 දා) රජයට නියම කළේය.

එම රෙගුලාසි අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සිතාරා සෙරින් අබ්දුල් සාරුර් හා අම්බිකා සෙත්කුගාතන් යන පෙත්සම්කරුවන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාග කළ බුවනෙක අළුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව එම නියෝගය කළහ.

එකී රෙගුලාසි මගින් පෙත්සම්කරුවන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12 (1) සහ 13 ව්‍යවස්ථා යටතේ හිමිකරදී ඇති මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල, එකී රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා සලකා බැලීමටත් නුසුදුසු බවට නිගමනය කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ පුලස්ති හේවාමාන්න යන මහත්වරුන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා රජය වෙනුවෙන් පෙනී සිටියේය. අතරමැදි පාර්ශ්වකරු වෙනුවෙන් නීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා සමග නවීන් මහ ආරච්චිගේ මහතා පෙනී සිටියේය.

ආගමික අන්තවාදය පැතිරවීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගන්නා සැකකරුවන් එලෙස දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඉඩකඩ සලසමින් එම රෙගුලාසිය නිකුත් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment