ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණින් සොයාගත් කාන්තා මළ සිරුර තවමත් හඳුනාගෙන නෑ

193

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියෝග

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ තිබී (01 දා) දින පස්වරුවේ සොයාගත් හඳුනා නොගත් කාන්තා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ. අඹගහවත්ත මහතා ලිදුල පොලිසියට (02 දා) දින නියෝග කළේය.

ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටියේ කඳවුරු බැඳීම සඳහා (01 දා) දින එම කඳු වැටියට ගිය පිරිසක් විසින් ග්‍රේට් වෙස්ටර්න් කන්දේ එක් පසක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මළ සිරුරක් තිබෙන බවට තලවකැලේ පොලිසිය වෙත දැනුම් දී තිබේ. එහිදී තලවකැලේ පොලිසියේ නිලධාරින් විසින් මළ සිරුර සොයාගෙන ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය අයත් පොලිස් බල ප්‍රදේශය ලිදුල හේතුවෙන් සිරුර සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිරුර ලිදුල පොලිසිය වෙත භාර දෙනු ලැබීය.

මළ සිරුර තිබූ ස්ථානයට ගිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය වීරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ ආපරාධ ස්ථාන පරීක්ෂාගාර නිලධාරින් සහ ලිදුල පොලිසියේ නිලධාරින් විසින් සිරුර දැඩි පරිශ්‍රමයක් දරා කඳු බෑවුමෙන් එගොඩට රැගෙන සිරුර යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිස් සහයෝගයෙන් කඳු මුදුණේ සිට රක්ෂිතයෙන් පිටතට රැගෙන එනු ලැබිණි.

කඳු මුදුණේ තිබී හමු වූ කාන්තා මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර කිසියම් පිරිසක් සමග හෝ පුද්ගලයකු සමග පැමිණි මෙම කාන්තාව කිසියම් හේතුවකින් ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඒ පිළිබඳව ඔහු සමග පැමිණි පිරිස හෝ පුද්ගලයා පොලිසියට ඒ පිළිබදව වාර්තා නොකර පලාගොස් ඇති බවත්, එම පුද්ගලයන් හෝ පුද්ගලයා පිළිබඳව තොරතුරු වෙතොත් ඒ පිළිබඳව ලිදුල පොලිසිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීය.

මේ අතර (02 දා) දින සිට කිසිදු අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කඳවුරු බැඳීමට ඉඩ ලබා නොදෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇත.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය නැරඹීමට හෝ කඳු මුදුණේ කඳවුරු බැඳීමට යාමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment