රාජ්‍ය සේවකයන්ට දස දහසක දීමනාවක්

150

නාගරික නිවාසවල පදිංචි 50,000ක් වූ අඩු ආදායම්ලාභීන්ගේ කුලී ගැනීම නවත්වයි. ඒ නිවාසවල අයිතියත් ඔවුන්ටම
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සඳහා වාර්ෂික දායකත්වය ප්‍රමාණවත් නැති නිසා සේවක දායකත්ව ප්‍රතිශතය අප්‍රේල් සිට සියයට 8 ක් දක්වා වැඩි කෙරේ
නව තාක්ෂණ විශ්වවිද්‍යාල 4ක්
ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවයි
මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරයක් පිහිටුවීමට පියවර: මිලියන 200ක් වෙන් කෙරේ
වකුගඩු රෝගීන්ට, ආබාධිත පුද්ගලයන්ට ගෙවූ රුපියල් 5000 ක මාසික දීමනාව 7500 දක්වා වැඩි කෙරේ
උසස් පෙළ සමත් හැම සිසුවකුටම සරසවි අධ්‍යාපනය
විශ්‍රාම වැටුප්වල රුපියල් 3525 ක ජීවන වියදම් දීමනාව රුපියල් 6025 දක්වා වැඩි කෙරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මකයි
වැඩිහිටි දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කෙරේ
හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය, මහනුවර නව ආයෝජන කලාප ස්ථාපිත කෙරේ
පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5 ක් පුනරින් සංවර්ධනයට රුපියල් මිලියන 500ක්
සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය නැවතත් සෑම සිසුවකුටම රක්ෂණ හිමිකම

රාජ්‍ය සේවක වැටුපේ රුපියල් 7800 ක ජීවන වියදම් දීමනාව 17800 දක්වා රුපියල් 10000කින් වැඩි කෙරේ.

වැඩිවීම අප්‍රේල් මාසයේ සිට වැටුපට ජනවාරි සිට මාර්තු දක්වා හිමිවිය යුතු හිඟ මුදල ඔක්තෝබර් සිට වාරික ලෙස ගෙවයි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප සඳහා ලබන ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන වසර (2024) සඳහා අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

එම දීමනාව වැඩිවීම අප්‍රේල් මාසයේ සිට මාසික වැටුපට එකතු කරන බව කී ජනාධිපතිවරයා රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව ද රුපියල් 2500 කින් වැඩි කරන බව කියා සිටියේය. ඒ අනුව 2015 වසරෙන් පසුව මිලියන 1.3 ක් පමණ වන රජයේ සේවකයන්ට සහ 730,000 ක් පමණ වන විශ්‍රාම වැටුප් ලබන්නන් සඳහා ලබන වසරේ අප්‍රේල් මස සිට වැටුප් වැඩි වන බවත්, ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයකදී ලබා දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

අයවැය ඉදිරිපත් කිරීම සඳහා ඊයේ දහවල් 12.00ට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර පාර්ලිමේන්තුව දහවල් 12.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් රැස්විය. එහි මූලික වැඩකටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය ඉදිරිපත් කරනු ලැබීය. දුඹුරු පැහැති බෑගයක බහා ගෙනා අයවැය යෝජනාවලිය ජනාධිපතිවරයා පුරා පැය දෙකක් සිංහල භාෂාව ප්‍රමුඛ කර ගනිමින් මැතිසබයට ඉදිරිපත් කළ අතර ඊට විපක්ෂයෙන් බාධා නොවීම විශේෂත්වයක් විය.

මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශයටය. එම මුදල රුපියල් බිලියන 723කි. ප්‍රතිශතයක් ලෙස එය 18.74%කි. පසුගිය අයවැයෙන් මුදල් අමාත්‍යාංශයට වෙන්ව තිබුණේ රුපියල් බිලියන 614කි.

මෙවර අයවැය යෝජනාවලින් රටේ ආරක්ෂාව සඳහා රුපියල් බිලියන 423ක් වෙන් කර තිබේ. එය සමස්ත වියදම්වලින් 10.97%කි. පසුගිය වසරට සාපේක්ෂව ආරක්ෂාවට වෙන් කර ඇති මුදල් ප්‍රතිශතය අඩුවීම විශේෂත්වයකි.

මෙවර සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කර ඇති මුදලේ සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. 2023 අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් වී තිබුණු මුදල ප්‍රතිශතයක් වශයෙන් 8.81%කි. මෙවර එය 10.63%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 410ක් වෙන් කිරීමට කටයුතු කර තිබේ. පසුගිය වසරේ වෙන් කර තිබුණේ රුපියල් බිලියන 322කි. අධ්‍යාපනය සඳහා 2023 දී සම්පූර්ණ අයවැයෙන් රුපියල් බිලියන 232ක් වෙන් කර තිබූ අතර මෙවර එය බිලියන 237ක් දක්වා වැඩි වී තිබේ. ප්‍රතිශතයක් ලෙස සලකා බැලූ විට එය මුළු වියදම්වලින් 6.14%කි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට අයවැයෙන් ගිය වසරේ රුපියල් බිලියන 372.6ක් වෙන් කර තිබූ අතර එය මේ වසරේ බිලියන 403.6ක් දක්වා වර්ධනය වී ඇත.

2023 අයවැයේ වියදම් රුපියල් බිලියන 3654ක් වූ අතර මෙවර එය බිලියන 3860ක් දක්වා වැඩි වී ඇත. එනම් වියදම් රුපියල් බිලියන 206.5කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2023 වසරට සාපේක්ෂව 2024 සඳහා වියදම් 5.65%කින් ඉහළ ගොස් තිබේ.

නිදහස් ශ්‍රී ලංකාවේ 78 වැනි අයවැය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනා පහත පරිදිය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment