චමින්දගේ උපන් දිනයදාම එයාගේ මුළු පවුල ම පොළොවට යටවුණා

769

බළන්ගොඩ බබරගල කන්ද නාය යයි එකම පවුලේ සිව්දෙනෙක් අතුරුදන්
බළන්ගොඩ නාය යෑමේ ඛේදවාචකය

වැලිගෙපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගවරන්හේන ප්‍රදේශයේ බබරගල කන්ද නාය යෑමෙන් නිවාස තුනකට හානි සිදුව අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා ආපදා සහන කණ්ඩායම් විසින් ඊයේ සිට සෝදිසි කිරීම් ආරම්භ කර තිබේ.

13 වැනිදා රාත්‍රියේ දී මෙම නාය යෑම සිදුවූ අතර බැකෝ යන්ත්‍ර දෙකක් යොදා පස් ඉවත් කරමින් අතුරුදන්වූවන් සොයා සෝදිසි සිදු කිරීම් ඊයේ (13 වැනිදා) උදෑසන සිට ආරම්භ කර තිබුණි. නාය යෑමෙන් පසු ගලාගෙන එන දිය පහර වරින් වර වැඩිවීම, ගස් කඩා වැටී තිබීම සහ අතුරුදන් වූ සිව් දෙනා සිටි නිවස සම්පූර්ණයෙන්ම පස් තට්ටුවකින් වැසි තිබීම නිසා ඔවුන් සොයාගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු වෙන බව ආපදා සහන කණ්ඩායම් එම ස්ථානයේදී දිවයිනට පැවැසූහ. නාය යෑමෙන් අනතුරුව එම ප්‍රදේශයේ නිවාස 06 ක පුද්ගලයින් ඉවත් කිරීමට ද මේ වනවිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

චමින්දගේ උපන් දිනයදාම එයාගේ මුළු පවුල ම පොළොවට යටවුණා

ගුවන් යානයක් කඩා වැටෙනවා වගේ මහ හඬක් නැඟුණා සිද්ධිය සියැසින් දුටු අය කියති
ගවරන්හේන නාය යෑමෙන් දිවි බේරා ගත් ගුණරත්ත සහ හේරත් මහතා

අතුරුදන්වූවන් සෙවීමට පොලිසිය යුද හමුදාව ඇතුඵ ප්‍රදේශවාසීහු විශාල වෙහෙසක් දරති. පවතින අයහපත් කාලගුණය සහ එම නායගිය ස්ථානයේ පවතින ජල කාන්දුව හේතුවෙන් බාධා එල්ල වී තිබේ. ස්ථීර වශයෙන්ම මොවුන් සිද්ධිය වනවිට නිවස තුළ සිටි බවට සනාථ කිරීමට සාක්ෂි කිසිවක් ලැබී නොමැත. එහෙත් මෙම නිවසේ ජීවත් වූ එස්. චමින්ද සුමිත් කුමාර (පියා), ඒ.කේ. සිරියලතා (මව), තසාරා නමෝදි (16) දියණිය, විමංසා ඉසුරි (10) දියණිය පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් නොමැති බව ගවරන්හේන ග්‍රාම නිලධාරිනී නජීදු වික්‍රමසිංහ සඳහන් කළා ය. මේ ආසන්නයේ තවත් පවුල් දෙකක වැසියන් පස් කන්ද සහ පිරුණු ජලය අතර දොළොස් වැනිදා රාත්‍රියේ සිට කොටු වී සිටි අතර ඔවුන් ඊයේ මුදාගත් බව ද සඳහන් වේ.

නායගිය කඳු මුදුනේ සිට ගලා එන බොර පැහැති දිය පාර ඊයේ (13 වැනිදා) උදෑසන සිට යළි වැඩිවූ බව ප්‍රදේශවාසීහු පවසති. සිද්ධිය වූ 12 වැනිදා සවස හය හමාරට විතර මම ගෙදර හිටියේ. ඒ වෙලාවේ එකවරම හෙලිකොප්ටරයක් කඩාවැටෙනවා වාගේ ශබ්දයක් ඇසුණා. මොනවාද වෙන්නේ කියා මට හිතා ගන්න බැරිවුණා. ගස් කොළං පාවෙනවා වාගේ පෙණුන නිසා මම එළියට ඇවිත් කෑ ගසමින් දිව්වා යැයි බළන්ගොඩ ගවරන්හේන නාය යෑමෙන් අනූනවයෙන්  දිවිබේරුණු එච්. හේරත් (76) මහතා පැවසීය. වැඩිදුරටත් ඔහු මෙසේ ද පැවැසීය. සිද්ධිය වෙන විට නිවසේ මම සිටියේ තනියමයි. උඩවලෙ පිහිටි පුතාගේ

ගෙදර ඉඳන් මම දවස් තුනකට කළින් ආවේ. බඹරගල කන්දේ මාගේ නිවස පිහිටා තිබුණා. මේ හරියේ තේ වතු, පුවක් අරඹවල් සහ උඩින් කැලෑව තිබුණා. 12 වැනිදා දවල් කාලයේ වැස්ස පටන් ගත්තා. සිද්ධිය වනවිට වැස්සේ නැහැ. හොලිකොප්ටරයක් කඩා වැටෙනවා වාගේ මහා හඬක් ඇසුණා. මම එළියට බැහැලා බලද්දී ගස් කොළං පාවෙනවා වාගේ දැක්කා. සිදුවුණේ මොකක්ද කියා මට හිතා ගන්න බැරිවුණා. මම කෑගැසුවා. මම පුළුවන් විදිහට ටික දුරක් දිව්වා. කකුල් දෙක පස්වලට යටවුණා. ගමේ තිදෙනකු ඇවිත් මා බේරා ගත්තා. ඔවුන් මාව පහළට රැගෙන ගියා. සිද්ධ වන දේ මට හිතාගන්න බැරි වුණා. මගේ ඔළුව කරකැවෙනවා වාගේ දැණුනා. පසුව මා උඩවෙල නිවසට රැගෙන ආවා. ඊයේ (13 වැනිදා) උදේ උඩවෙල රෝහලට ගොස් ප්‍රතිකාර ගත්තා. කකුල් රිදෙනවා. මාව බේරා ගත් පසු ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. මම ගෙදර හිටියා නම් මගේ ශරීරයවත් හොයා ගන්න බැරි වෙනවා. ගෙදර තිබූ තැනවත් දැන් නැහැ. වාසනාවට මම බේරුණා. පහළ නිවසේ චමින්ද ඇතුළු හතර දෙනා යටවෙලා. වමින්දගේ උපන් දිනය යෙදී තිබුණේ මෙදින. ඔහු හිත හොඳ මිනිසෙක්. තවත් ප්‍රදේශවාසියෙක් වන  එච්. ගුණරත්න මහතා මෙසේ පැවසීය. හවස හය හමාරට විතර මහා ශබ්දයක් ඇසුණා. එළියට ඇවිත් බලද්දි කන්ද පහළට එනවා දැක්කා. චමින්ද ගේ ගෙදර පැත්තට කන්ද කඩාගෙන එන නිසා මම කෑගැසුවා. චමින්ද අයින් වෙන්න අයින් වෙන්න කියලා. මට බය හිතුණු නිසා අපේ ගෙදර අයත් එක්ක එළියට පැන්නා. මාගේ ගේ අසලින් නායගියා. ගෙදර ඇතුළට ජලය ගලාගෙන ඇවිත් රොන් මඩ පිරී තිබෙනවා. කිලෝමීටර් තුන හතරක් කන්ද නාය ගිහින්. අවුරුදු සියගණන් පරණ මහා ගස් තිබ්බ තැනක් නැහැ. කන්දේ තව කොටසක් අවදානම්. දොළපාරක් ගලාගෙන යනවා. ගලුයි පසුයි විතරයි පේන්න තියෙන්නේ.
කහවත්ත සමරවීර නිරෝෂණ, ඕපනායක ජයලත් විමලසේන, බළන්ගොඩ එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment