බෙහෙත් හිඟ බිල් ගෙවන්න මුදල් – ඇමැති ශෙහාන් කියයි

91

ඖෂධ මිල දී ගැනීම් වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව හරහා මුදල් වෙන් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

දැනට අතැති බිල්පත්වලට අමතරව වසර ගණනක් තිස්සේ ඉදිරියට පැමිණෙමින් ඇති හිඟ බිල්පත් ද එම සංස්ථාව සතුව ඇති බව ද ඇමැතිවරයා කියයි.

රාජ්‍ය බැංකුවක් මගින් මේ සඳහා වන ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බව පැවසූ ඇමැතිවරයා කියා සිටියේ අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් බවයි.

මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (26) පැවැති විශේෂ සාකච්ඡාවක දී හෙතෙම මෙම කරුණු සඳහන් කළේය.

ඖෂධ මිලදී ගැනීම, හිඟ බිල්පත් ගෙවීම වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍ය වියදම් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ලබා දීමට කටයුතු කරන බව ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දුලිප් ද සිල්වා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර යන මහත්වරු ද සහභාගි වූහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment