රටේ ජනතාව කැමති නම් අයි.එම්.එෆ්.යනවා – වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

247

පසුගිය රජයේ විනිමය කළමනාකරණය අදුරදර්ශියි

ප‍්‍රශ්නය මේ මොහොත වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් වගේම මිල ඉහළ යෑමක් සිද්ධ වී තිබෙනවා. පරිභෝගිකයන් එම කරුණු පදනම් කරගෙන ඔබටත් විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. එම චෝදනා සම්බන්ධයෙන් ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – මෙතන තිබෙන්නේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ මොහොත වන විට කොවිඞ් අර්බුදය නිසා මුළු ලෝකයම ලෝක ඉතිහාසයේ කිසිදාක මුහුණ නොදුන් අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම තත්ත්වය නිසා ලෝකයේ බොහෝ රටවල් වහල දැම්මා, වරායවල් වැසුවා, ගුවන් තොටුපළවල් වැසුවා, ඒ වගේම කර්මාන්ත ශාලා වසා දැමීමට සිද්ධ වූවා. ඒ වගේම විශාල ප‍්‍රමාණයකගේ රැකියා අහිමි වූවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය අඩාල වූවා, මෙම තත්ත්වය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල නූල කැඩුණු සරුංගලයක් වගේ මුළු ලෝකයේම ඉතා ශීඝ‍්‍ර ලෙස ඉහළ ගිහින් තිබෙනවා. ඇමෙරිකාවේ තත්ත්වය අරගෙන බැලූවත් ඒකම තමයි. අවාසනාවකට අද ඇමෙරිකාවේ සිද්ධ වී තිබෙන දැවැන්ත ආර්ථික කඩා වැටීම මිල ඉහළ යෑම භාණ්ඩ හිඟවීම පිළිබඳව ගී‍්‍ර ලංකාවේ කවුරුවත් කතා කරන්නේ නැහැ. ලංකාවේ සමහරු හිතන්නේ මෙම ඇතිවී තිබෙන තත්ත්වය ලංකාවට පමණක් ඇති වූ විශේෂ තත්ත්වයක් කියලා.

නිදහසින් පසු ලංකාවේ පළමු වතාවට තමයි ආර්ථික වර්ධන වේගය -3.6 දක්වා අඩුවී තිබෙන්නේ. එම නිසා ඇතිවන ආර්ථික හිඟතාව තුළ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා අප රජය වශයෙන් විශාල මැදිහත්වීමක් කරලා තිබෙනවා. එම නිසා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල ස්ථාවර කිරීම සඳහා රජය වශයෙන් අප භාණ්ඩ කිහිපයක් බලාදී තිබෙනවා. ඒ යටතේ සම්බා කිලෝ එකක් රුපියල් 128 කටත් නාඩු කිලෝ එකක් රුපියල් 105 කටත් මෙම වසර පුරා අලෙවි කරනවා. පොල් ගෙඩියක් රුපියල් 75 ක මිලට අලෙවි කරනවා. වෙළෙඳපොළේ පොල් නැති අවස්ථාවලදී පොල් ගෙඩි දෙකක කිරි තිබෙන පැකට්ටුවක් වසර පුරා රුපියල් 150 කට අලෙවි කරනවා. ඒ වගේම රුපියල් 60 කට පමණ තිබුණ ලූණු පැකට්ටුවක් රුපියල් 35 ට අලෙවි කරනවා. ඒ වගේම නියම ටීඑෆ්එම් අගය තිබෙන රෙදි සෝදන සබන් කැටයක් වෙළෙඳපොළේ අගයට වඩා රුපියල් 20 ක් අඩුවෙන් ලබාදෙනවා.

ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් වෙළෙඳපොළේ පවතින මිලට වඩා සතොස හරහා 10% ක මිල අඩුවෙන් ලබාදෙනවා. ඉතිහාසයේ පළමු වතාවට දෙසැම්බර් මාසයේ සතොසේ අලෙවි ආදායම රුපියල් කෝටි 480 යි. වර්ෂයක් තුළදී සතොස රුපියල් කෝටි 4100 ක භාණ්ඩ අලෙවි කරලා තිබෙනවා. මාධ්‍ය කෙසේ කීවත් මේ රටේ පොදු ජනයා සතොස වැළඳගෙන තිබෙන බව එම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යනවා. සතොස නොමැති ප‍්‍රදේශවලට භාණ්ඩ ලබාදීම සඳහා අපි බෙල් සොලියුෂන් යන ආයතනය සමග ගිවිසුමකට එළඹිලා තිබෙනවා. ඒ හරහා අපි ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයකට පැය 48 තුළ භාණ්ඩ ප‍්‍රවාහනය කරදීමට අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා අප අයකරන්නේ රුපියල් දෙසීයක සහන ප‍්‍රවාහන ගාස්තුවක් පමණයි. එම නිසා සතොසක් ළඟ නෑ කියලා සතොසේ බඩු නැහැ කියලා මින් ඉදිරියට ප‍්‍රශ්නයක් ඇතිවන්න විධියක් නැහැ. 1998 දුරකථන අංකයට ඇමතුමක් ලබාදුන්විට මින් ඉදිරියට ගෙදරටම බඩු ටික ගෙන්වා ගන්න පුළුවන් වෙනවා.

ප‍්‍රශ්නය – විදේශ ණය ගෙවීම සඳහා පැවති සංචිත යොදාගැනීමත් විදේශීය ණය ප‍්‍රතිව්‍යහගත කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීමත් නිසා වත්මන් අර්බුදකාරී තත්ත්වය ඇතිවූ බවට විපක්ෂය චෝදන කරනවා, එම චෝදනා පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – පවතින විදේශ ණය සම්බන්ධයෙන් ගැළවිය නොහැකි වගඋත්තරකරුවා තමයි මින් පෙර බලයේ සිටි යහපාලන ආණ්ඩුව. විශේෂයෙන්ම එම අණ්ඩුවේ සිටිය මුදල් ඇමැතිවරයා. හේතුව තමයි 2015 2016 2017 2018 යන වර්ෂවලදී ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල අසාමන්‍ය ලෙස පහළ යෑම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් රටට ඉතිරි වූවා. එම ඉතිරි වූ මුදල් ප‍්‍රමාණයෙන් 2015 වර්ෂයේ දී ඩොලර් මිලියන 3 කුත් ඉන් අනතුරුව අනෙක් වර්ෂවලදී මිලියන 5 කට වැඩි ප‍්‍රමාණයකුත් එම ඇමැතිවරයා විසින් පුච්චා දැම්මා. පිච්චුවා කියලා කියන්නේ රුපියලේ අගය පවත්වාගෙන යෑම සඳහා දිනපතා මහබැංකුව ලවා වෙළෙඳපොළට මුදල් නිකුත් කළා. එය අසාර්ථක වීමෙන් පසුව හම්බන්තොට වරාය වික්කා. එය විකුණලා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 ක් ගත්තා. එයත් අසාර්ථක වීමෙන් පසුව මෙතෙක් බලයේ සිටි කිසිම රජයක් නොකළ ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහින් ඇමෙරිකානු ඩොලර් බිලියන 13 ක් ණයට ගත්තා. එසේ කළත් පැවති දැවැන්ත විදේශ විනිමය අර්බුදය විස`දා ගැනීමට නොහැකි වූ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ගියා. 2017 2018 2019 යන වර්ෂ තුනේ කි‍්‍රයාත්මක කළේ තුන් අවුරුදු අයිඑම්එෆ් ණය ගිවිසුම. 16 වන වතාවටත් එම ණය අරගෙන තත්ත්වය බේරගන්න බැරිවුණ තැන තමයි ඇමෙරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යන ගිවිසුම අත්සන් කළේ. එම ගිවිසුම හරහා රට ඇමෙරිකාවේ ආර්ථික කොරිඩෝවක් කරලා ලබාගැනීමට සූදානම් වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 යි. ඒක තමයි යහපාලන රජය විසින් උරුමකර දුන් දැවැන්ත අර්බුදය. තවත් හේතු නිසා එම අර්බුදය වැඩිවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරය නිසා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලැබෙමින් තිබුණා. නමුත් පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම නිසා සංචාරකයන් දුවන්න පටන් ගත්තා. කොවිඞ් වසංගතය නිසා සංචාරක ව්‍යපාරයෙන් ලැබෙමින් තිබූ ප‍්‍රමාණයත් නැතිවී ගියා.

අද දවස වන විට රට තුළට ගලාගෙන එන විදේශ විනිමය ප‍්‍රමාණය අඩුවෙලා තිබෙනවා. නමුත් ලබාගෙන තිබෙන ණය සඳහා වාරික සහ පොලී ගෙවීමට සෑම වර්ෂයකදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 5 කට වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් වෙන් කිරීමට සිද්ධ වී තිබෙනවා. එම මුදල් ප‍්‍රමාණය 2029 වසර දක්වා වෙන්කිරීමට සිද්ධ වෙනවා. 2019 දී ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කරවල කල් පිරෙන්නේ 2029 දී තමයි. එම නිසා මේ ආණ්ඩුව හෙට වෙනස් කරලා කවුරු බලයට ගෙනාවත් එම අර්බුදයට මුහුණදීමට සිද්ධවෙනවා. පසුගිය රජයේ අදූරදර්ශී විදේශ විනිමය කළමනාකරණය නිසා ගෙවාගත නොහැකි අසීමත ණය කන්දක් ඇතිවී තිබෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. කොව්ඞ් වසංගතය නිසා එම තත්ත්වය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා.

යහපාලන ආණ්ඩුවට පෙර බලයේ සිටිය කිසිම රජයක් මේ ආකාරයට රට ජාත්‍යන්තරයට හිර කළේ නැහැ. එම නිසා මේ වන විට අපට තනිව විස`දාගත නොහැකි මට්ටමේ විදේශ විනිමය අර්බුදයක් ඇති වී තිබෙනවා.

ප‍්‍රශ්නය – විපක්ෂය චෝදනා කරන්නේ පැවති ණය ප‍්‍රතිව්‍යහගත කිරීමට අවශ්‍ය පියවර ආණ්ඩුව විසින් නොගැනීම නිසා මෙම අර්බුදය ඇතිවූ බව තමයි, එම චෝදනාව සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – අපි කිව්වට ණය එහෙම ප‍්‍රතිව්‍යහගත කරන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය තත්ත්වය පිළිබඳව පවතිත හුදු නොදැනුවත් කම නිසාත් ඔය වැනි ප‍්‍රකාශ කරනවා. සුනාමි ව්‍යසනය සිද්ධ වූ අවස්ථාවේදීත් යුද්ධය පැවති අවස්ථාවේදීත් ණය ප‍්‍රතිව්‍යහගතකර ගැනීමට නොහැකි වූවා.

මූල්‍ය ආයතන කටයුතු කරන්නේ හැ`ගීම්වලට නොවෙයි. එම ආයතනවලට කි‍්‍රයාකළ යුතු ආකාරයක් තිබෙනවා. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව පමනක් නොවෙයි රටක් වුවත් කට වචනයට කටයුතු කරන්නේ නැහැ. එම නිසා මෙම ණය ප‍්‍රතිව්‍යහගතකර ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව රජය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය විශේෂඥයන්ගෙන් සහය ඉල්ලා තිබෙනවා. ණය ප‍්‍රතිව්‍යහගත කිරීම තාක්ෂණික විද්‍යත්මක දැනුම පදනම් කරගෙන කළ යුතු දෙයක්. එම කටයුතු සිදු කිරීම දේශපාලඥයන්ගේ භූමිකාව නොවෙයි. එය මූල්‍ය කටයුතු පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අයගේ කාර්යයක්. ඒ සඳහා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තිබෙනවා. එහි විශේෂඥ දැනුමක් සහිත විද්වතුන් සේවය කරනවා. නමුත් ඔවුන්ගෙනුත් බැහැරට ගිහිල්ල ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය විශේෂඥයන්ගේ සහයත් අවශ්‍ය වනවා ණය ප‍්‍රතිව්‍යහගත කිරීම සඳහා, ඒ සඳහාත් කටයුතු කර තිබෙනවා.

ප‍්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව විපක්ෂය දිගින් දිගටම යෝජනා කරනවා, නමුත් ආණ්ඩුව ඒ සඳහා යොමු නොවන්නේ ඇයි ?

පිළිතුර – අපි 16 වතාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තිබෙනවා. නමුත් අපට ඇති වී තිබෙන ප‍්‍රශ්නය තවම තෙරුම් අරන් නැහැ. අපට නිදහස ලැබුණු අවස්ථාව වන විට අපි ඩොලර් එකකට ගෙව්වේ රුපියල් 4.57 යි. 1977 වන විට අපි ඩොලර් එකකට ගෙව්වේ රුපියල් 8 යි. එවකට සිටිය මුදල් ඇමැතිවරයා වූ රොනී ද මෙල් මහතා 1977 නොවැම්බර් 15 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට ඩොලරයට රුපියල් 16 ක් ගෙවන්න තීරණය කරලා රුපියල පාකළා. මහින්ද රාජපක්ෂ මහතා රටේ පාලනය භාරගන්න කොට ඩොලරයට ගෙව්වේ රුපියල් 105 යි. ඉන් දස අවුරුද්දකට පස්සේ යහපාලන ආණ්ඩුව බලයට එනකොට ඩොලරයට ගෙව්වේ රුපියල් 131 යි. එම කාලය තුළදී රුපියලට වැඩිපුර ගෙවන්න සිද්ධ වූයේ රුපියල් 26 යි. යහපාලන ආණ්ඩුව අයි එම් එෆ් එකත් එක්ක කටයුතු කරලා නැවත අපට රට භාරදෙනකොට ඩොලරයට රුපියල් 182 ක් ගෙවන්න වී තිබුණා. එම කාලය තුළ ඩොලරයට වැඩිපුර රුපියල් 51 ක් ගෙවන්න සිද්ධ වී තිබුණා. දැන් ඩොලරයට නිල වශයෙන් රුපියල් 203 ක් ගෙවන්න සිද්ධ වී තිබෙනවා. නිල නොවන ආකාරයට රුපියල් 220 ක් 230 ක් වනවා. දවස ගානේ අපි කොහාටද ගිහින් තිබෙන්නේ? අයි එම් එෆ් එකට 16 වතාවක් ගියත් රටක් වශයෙන් අප පහළට ගිහින් තිබෙන බව තාර්කික බුද්ධියක් තිබෙන ඕනෑම අයකුට පෙනෙනවා. මෙම තත්ත්වයට හේතුව තමයි රට තුළට ගලාගෙන එන විදේශ විනිමය ප‍්‍රමාණයට වඩා රටින් පිටට ගලාගෙන යන විදේශ විනිමය ප‍්‍රමාණය වැඩි වීම.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය විට දාන කොන්දෙසි කිහිපයක් තිබෙනවා. කවුරු ණය ගත්තත් එම කොන්දසිවලට යටත් වෙන්න ඕන. එම කොන්දේසිවලට අනුව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5% කට වඩා අඩු කරන්න ඕන. රාජ්‍ය වියදම් කපාහරින්න ඕන. ඒ ආදායම් වැඩි කරන්න ඕන. පාඩු ලබන රාජ්‍ය ආයතන පාඩු නොලබන තත්ත්වයට පත්කරන්න ඕන. ඛනිජ තෙල් ගෑස් වැනි ද්‍රව්‍යවල මිල ලෝකයේ පවතින ගාණට වැඩිකරන්න ඕන. රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම සම්පූර්ණයෙන් නතර කරන්න ඕන. ඒ වගේම විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩදිය යුතුයි. නිදහස් වෙළෙ`දාමට ඇති බධා නැති කළ යුතුයි. මෙම උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙවුම් ශේෂ අර්බුදයකදී ලබාදෙන පොදු උපදෙස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් වැඩපිළිවෙළ සමග කටයුතු කිරීම නිසා පසුගිය මහ මැතිවරණයේදී මේ රටේ තිබුණු ප‍්‍රධානම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට එක් මන්තී‍්‍ර ආසනයක් හෝ ජය ගැනීමට නොහැකි වූවා.

රටේ ජනතාව එම කොන්දේසි ඉෂ්ට කිරීමට කැමති නම් එම අරමුදලට යෑමේ වරදක් මම දකින්නේ නැහැ. ආර්ථික විද්‍යාඥයෙක් ලෙස මමත් කැමතියි අය වැය පරතරය අඩුවෙනවාට. රාජ්‍ය ආයතන පාඩු නොලබන තත්ත්වයට පත්වෙනවට. මුදලේ අගයට වෙළෙඳපොළ බලවේග තීරණය කරනවාට මමත් කැමතියි. නමුත් ඉන් ඇතිවන පීඩනයට ජනතාව මුහුණ දීමට සූදානම් කියන සහතිකය කවුද දෙන්නේ.

ප‍්‍රශ්නය – ඉදිරියේදී අලූත් අවුරුදු සමය උදාවනවා. එම කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවී මිල ඉහළ යෑමට ඉඩ තිබෙනවා. එම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට ගෙන ඇති පියවර මොනවාද ?

පිළිතුර – කිසිසේත්ම එහෙම වන්නේ නැහැ. අලූත් අවුරුදු සමයේ දී හාල් කිලෝ එකක් රුපියල් 300 දක්වා වැඩිවන බවටත් එළවඵ කිලෝ එකක් රුපියල් 600 දක්වා වැඩිවන බවත් ප‍්‍රකාශ කරමින් කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වූවා. අපි අවුරුදු සමයේදී එබඳු තත්ත්වයක් ඇතිවන්න කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. එම සමයේ දී භාණ්ඩ සුලභ කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment